he-took-a-bribe-from-saranas-wife-saying-that-he-would-ask-the-judge-for-a-lenient-sentence

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිදුකළ වාහන අවභාවිත කිරීම් චෝදනා 18කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවතින වෙනත් අල්ලස් නඩුවකදී ලිහිල් දඬුවමක් ලබා දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට ලක්වූ මහාධිකරණ විනිසුරු සහායකයෙකු ලබන සැප්තැම්බර් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.




මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ජී.ඒ. චරිත් කුමාර නමැති සැකකරුය. කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම අල්ලස් සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකු මෙන්ම කොළඹ මහාධිකරණයේ සේවය කරන පොත් බැඳුම්කරුවෙකු පිළිබඳව ද තවදුරටත් විමර්ශන පවත්වන බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.