ලබන සිකුරාදා (25) සිට ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාව තමන් මිලදී ගන්නා පොත්පත් රැගෙන යාම සඳහා පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරයි. විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ගැවසෙන මෙම පොත් ප්‍රදර්ශනයේදී පොත්පත් රැගෙන යාම සඳහා ‘සිලි සිලි’ බෑග් ඇතුළු ප්ලාස්ටික් බෑග් විශාල වශයෙන් භාවිත කරන බව පසුගිය වසරවලදී නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.පී.
කපිල රාජපක්ෂ මහතා සඳහන් කරයි.2025 ඔක්තෝබර් 1 වැනි දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර ඇත්තේ කිසිදු පාරිභෝගිකයෙකුට ‘සිලි සිලි’ බෑග් නොමිලේ නොදිය යුතු බවයි. යම් හෙයකින් එම බෑග් අලෙවි කරන්නේ නම්, ඊට අය කරන මුදල ලබා දෙන බිල්පතෙහි පැහැදිලිව සඳහන් කළ යුතු වේ. තනි වරක් පමණක් භාවිත කර බැහැර කරන පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය නිසා පරිසරයට සිදුවන හානිය වළක්වාලීම වෙනුවෙන් මෙම නීතිය ක්‍රියාත්මක කර ඇත.
මේ නිසා පොත්පත් මිලදී ගැනීමේදී නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී බෑග් භාවිත කරමින් පොලිතීන් බෑග් භාවිතය අවම කිරීමට කටයුතු කිරීමෙන් පරිසරය සුරැකීමේ ජාතික වගකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. තවද, තනි වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි මෙන්ම මෙරට නිෂ්පාදනය කරන පොලිතීන් ලන්ච් ෂීට් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලේ ලබා දීම හෝ භාවිත කිරීම ද නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
පොත් ප්‍රදර්ශන භූමිය තුළ පිහිටි ආහාර අලෙවිසැල්වලදී මෙම තහනම් කරන ලද ද්‍රව්‍ය කිසිදු අයුරකින් භාවිත නොකිරීම තහවුරු කිරීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා එක්ව, ප්‍රදර්ශනය ආරම්භ වන 2026 සැප්තැම්බර් 25 වැනි දින පොත් කුටි සහ ආහාර අලෙවිසැල් භාර වෙළෙඳුන් මෙන්ම පැමිණෙන මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. පොලිතීන් සහ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගනිමින් පරිසර හිතකාමී ලෙස ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණින් මෙම වැඩසටහන “Read Smart, Carry Smart” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරේ.
