ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේන නැමැත්තා විසින් ලබාගන්නා ලද අල්ලස් මුදලින් කොටසක් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව, නීතිපතිවරයාගේ අදාළ උපදෙස් මත මෝසමක් ගොනු කරමින් නඩුව කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව දැනටමත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
මෙම ගුවන් යානා ගනුදෙනුවේදී 2014 සහ 2015 යන වසරවලදී අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගත් බවට වන චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගියදා නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව එළඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත. සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් පසු ඔහුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ හැකියාව අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට ලැබේ.