organized-cattle-rustler-arrested-in-welimada

වැලිමඩ සහ කැප්පෙටිපොළ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ කිරි ගවයන් සොරාගෙන මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමකට අනුබල දුන් බවට සැකකෙරෙන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගව මස් වෙළෙන්දෙකු එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් ආර්.ඒ.සී.පී. අමරතුංග මහතා නියෝග කළේය.

පිටස්තර ප්‍රදේශවල සිටින ගව සොරුන් සම්බන්ධ කර ගනිමින් සංවිධානාත්මක ලෙස මෙම සොරකම් මෙහෙයවා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.




ගාල්ල නොරිස් පාරේ සහ මාතර කුමාරතුංග මාවතේ පදිංචි, මෙම සොරකම් සඳහා සෘජුවම සම්බන්ධ වූ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ද මේ වන විට අධිකරණ නියෝග මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී. මාස දෙකක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ සිදුවන මෙම ගව සොරකම් පිළිබඳව ප්‍රදේශයේ ගව පාලකයන් විසින් බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා වෙත කරන ලද පැමිණිලිවලට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

විමර්ශන කටයුතු සඳහා කැප්පෙටිපොළ සිට වැලිමඩ නගරය හරහා බණ්ඩාරවෙල සහ ඇල්ල දක්වා වූ මාර්ග ආශ්‍රිතව සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන 130ක් මෙන්ම ජී.පී.එස්. දුරකථන තාක්ෂණය ද යොදාගෙන තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් වෑන් රථ දෙකක් භාවිත කරමින් මෙම ගවයන් පැහැරගෙන ගොස් බණ්ඩාරවෙල පිහිටි මස්කඩ හිමියා වෙත අඩු මුදලට අලෙවි කර ඇති බවයි.




කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. තුසිත කුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ප්‍රධාන සැකකාර මස් වෙළෙන්දා විසින් පිටපළාත්වලින් පැමිණෙන සොරුන්ට බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් නවාතැන් පහසුකම් සපයමින්, සොරකම් කරන ලද ගවයන් මස් පිණිස ඝාතනය කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම නඩුව සඳහා වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතා ද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.