if-you-are-trying-to-extort-sex-from-someone-over-the-internet-tell-us---slcert

ලිංගික කප්පම් ගැනීම් (Sextortion): කලබල නොවන්න, මුදල් ගෙවීමෙන් වළකින්න September 16, 2026 Text No comments




සංවේදී හෝ පෞද්ගලික දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට බියගන්වමින් සිදුකරනු ලබන "ලිංගික කප්පම් ගැනීම්" නැමැති සයිබර් අපරාධය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසිප්‍රතිචාර සංසදය (SLCERT) මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකරයි.

සමාජ මාධ්‍ය ජාල, පණිවුඩ හුවමාරු කිරීමේ යෙදුම්, ඩේටින් ඇප්ස් හෝ සබැඳි ක්‍රීඩා ඔස්සේ ආරම්භ වන මෙම සයිබර් තර්ජනය ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සිදුවීමේ අවදානමක් පවතී. මෙහිදී අපරාධකරුවන් විසින් මුලින්ම වින්දිතයන් සමඟ මිත්‍රශීලීව විශ්වාසයක් ගොඩනඟා ගන්නා අතර, ඉන්පසු ඔවුන්ගේ සංවේදී ඡායාරූප හෝ දත්ත ලබාගෙන මුදල්, අමතර ඡායාරූප හෝ විවිධ වාසි ඉල්ලා තර්ජනය කිරීම සිදුකරනු ලබයි.




නූතන උත්පාදක කෘතිම බුද්ධි (Generative AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ, ව්‍යාජ ලෙස සකස් කළ අසභ්‍ය ඡායාරූප (Explicit deepfakes) නිර්මාණය කරමින් පුද්ගලයන් බියගැන්වීමට අපරාධකරුවන් වර්තමානයේ වැඩිවශයෙන් පෙළඹී සිටිති.

යම් හෙයකින් මෙවැනි තර්ජනයකට මුහුණ දීමට සිදුවුවහොත්, අදාළ අපරාධකරුවන් සමඟ පවත්වන සියලුම සන්නිවේදනයන් වහාම අත්හිටුවන ලෙසත්, ඔවුන් එවූ පණිවුඩ සහ තර්ජනවල සාක්ෂි සුරක්ෂිතව තබාගෙන අදාළ ගිණුම් අවහිර කිරීමට ප්‍රථම සුදුසු උපකාර ලබාගන්නා ලෙසත් SLCERT ආයතනය පෙන්වා දෙයි.



අන්තර්ජාලය ඔස්සේ පෞද්ගලික හෝ සංවේදී තොරතුරු හුවමාරු කරගැනීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත්, හඳුනන්නේ නැති ආගන්තුකයන්ව පහසුවෙන් විශ්වාස නොකරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සැකකටයුතු ගිණුම් අවහිර කිරීම සහ වාර්තා කිරීම පිළිබඳව දැනුවත් වීමද අත්‍යවශ්‍ය වේ. මෙවැනි අවාසනාවන්ත තර්ජනයකට ලක්වුවද, ඔබ එහි වරදකරුවෙකු නොව වින්දිතයෙකු පමණක් බව සැමවිටම සිහි තබාගත යුතුය.