govhr-launched-to-manage-all-government-employee-human-resources

රාජ්‍ය අංශයේ ලිපිගොනු සම්බන්ධයෙන් පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් පැනනඟින ගැටලුවලට විසඳුමක් ලෙස, සමස්ත රාජ්‍ය සේවක මානව සම්පත් හා සේවා කළමනාකරණ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.




රාජ්‍ය පරිපාලන ඇමැති චන්දන අබයරත්න මහතා පෙන්වා දෙන පරිදි, රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉහළ නැංවුවද, ඇතැම් ලිපිගොනුවල පවතින දෝෂ නිසා සමහර විශ්‍රාමිකයන්ට එම ප්‍රතිලාභ අහිමි වී තිබේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට පැවත එන පැරණි ලේඛන සහ ලේඛනාගාර නඩත්තු කිරීමේදී ආයතන විශාල අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් පහසු සහ කාර්යක්ෂම ක්‍රමවේදයකට පිවිසීම අත්‍යවශ්‍ය වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

මේ සඳහා නිර්මාණය කරන ලද නවතම ඩිජිටල් පද්ධතිය වන ‘GovHR’ (Public Service Human Resource Management Information System) පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කෙරිණි. මෙම නව පද්ධතිය හරහා රාජ්‍ය සේවයට නවකයන් බඳවා ගැනීමේ සිට ඔවුන් විශ්‍රාම යන අවස්ථාව දක්වා මතු වන සියලුම ලේඛන හා ලිපිගොනු ආශ්‍රිත ගැටලුවලට කඩිනම් විසඳුම් හිමිවනු ඇත.




සාම්ප්‍රදායික කඩදාසි භාවිතය හේතුවෙන් රාජ්‍ය ආයතන තුළ සිදුවන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතා මින් ඉදිරියට මඟහැරී යනු ඇත. ඒ අනුව රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම, සේවය ස්ථිර කිරීම, උසස්වීම් ලබාදීම, ස්ථාන මාරුවීම්, දේශීය හා විදේශීය පුහුණු අවස්ථා, දුක්ගැනවිලි විසඳීම, කාර්ය සාධනය ඇගයීම මෙන්ම විශ්‍රාම ගැන්වීම ඇතුළු සියලුම මානව සම්පත් ක්‍රියාවලීන් තනි මධ්‍යගත ජාලයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම GovHR පද්ධතියේ මූලික අරමුණ වී තිබේ. තවද, මෙම තොරතුරු ඍජුවම අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන සමග ද සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.

මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ඔස්සේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළම ඉහළ විනිවිදභාවයක්, කාර්යක්ෂමතාවක් මෙන්ම වගවීමක් තහවුරු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එපමණක් නොව, අනාගතයේදී ආයතනික සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත පාදක කරගත් පසුබිමක් මේ හරහා නිර්මාණය වනු ඇත.