
උතුරු ලන්ඩනයේදී පාසල් යමින් සිටි 16 හැවිරිදි පාසල් දැරියක රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය ශ්‍රී ලංකාවේ සම්භවය සහිත මෙලිසා ප්‍රේමරත්න (Melissa Premaratne) ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රහස්පතින්දා උදෑසන 8:15 ට පමණ හයිගේට් (Highgate) පාසල අසල නෝර්ත් රෝඩ් (North Road) හිදී මෙම ඛේදවාචකය සිදුවී ඇති බව වාර්තා වේ.
පෞද්ගලික කුලී රථයක ගැටී ඇති ඇය, එම ස්ථානයේදීම මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලදී.
අනතුරට සම්බන්ධ 68 හැවිරිදි රියදුරා නොසැලකිලිමත් ලෙස රිය පදවා මරණයක් සිදු කිරීමේ සැකය මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහුව ඇප මත මුදා හැර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, අනතුර පිළිබඳව යම් තොරතුරක්, CCTV හෝ ඩෑෂ්කැම් දර්ශන ඇත්නම් ලබාදෙන ලෙසත් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ රහස් පරීක්ෂක සයිමන් ඒගර් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙලිසා යනු සාමාන්‍ය පෙළ (GCSE) විභාගයෙන් ඒ සාමාර්ථ (Grade 9) 10ක් ලබාගත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ගණිතය සහ දර්ශනය හැදෑරීමේ සිහිනයකින් පසුවූ අතිශය දක්ෂ 12 වන වසරේ ශිෂ්‍යාවකි. තම ජීවිතය ආලෝකමත් කළ ඇයගේ වියෝව කිසිදා පියවිය නොහැකි පාඩුවක් බව පවසන පවුලේ ඥාතීන්, ඇය මවට සහ බාල සොහොයුරියට ලබාදුන් සහයෝගය ඉමහත් බවද සිහිපත් කරති.
හයිගේට් පාසලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අනාගත බලාපොරොත්තු රැසක් කැටිකරගත් මෙම යොවුන් දැරියගේ අකල් මරණය සමස්ත පාසල් ප්‍රජාවටම දැඩි කම්පනයක් ගෙන දුන් බවයි. එමෙන්ම, අනතුරට සම්බන්ධ වාහනය තම සමාගමට අයත් එකක් බව තහවුරු කළ 'ඇඩිසන් ලී' (Addison Lee) කුලී රථ සේවය, පොලිස් පරීක්ෂණ සඳහා තම උපරිම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
ක්‍රීඩාවට මෙන්ම පියානෝ වාදනයට හා ගායනයටද දක්ෂතා දැක්වූ මෙලිසාගේ අවසන් කටයුතු වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සිටින ඇයගේ ආච්චි සහ සීයාට ලන්ඩනයට පැමිණීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සැලසීම සඳහා මේ වනවිට අරමුදලක් පිහිටුවා තිබේ. පවුලේ හිතවතුන් සහ ප්‍රදේශවාසීන්ගේ නොමසුරු දායකත්වයෙන් ආරම්භ කළ මෙම අරමුදල, එහි මූලික ඉලක්කය වූ පවුම් 55,000 ක මුදලද ඉක්මවා යමින් මේ වනවිට පවුම් 90,000 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට සමත්ව ඇත.
