many-details-revealed-about-the-murder-of-the-two-children-in-dehiwala

දෙහිවල, සිරිසඟ බෝ මාවතේ පිහිටි නිවසකට ඉකුත් 11 වැනිදා අලුයම් කාලයේදී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් බාලවයස්කාර දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ ඩුබායි හි සැඟව සිටින "කොස් මල්ලි" නමැති පාතාල කල්ලි නායකයා විසින් වන අතර, ප්‍රහාරය එල්ල කළ "මධූ" හෙවත් "කොස් මාමා" නැමැත්තාට ඒ වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ලබා දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සූදානම් කළ වාර්තාවලින් හෙළි වේ.




බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු, අදාළ ප්‍රහාරය සඳහා ලද මුදල් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට සහ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. "කොස් මල්ලි" නැමැති පාතාල නායකයාගේ ඥාති සහෝදරයෙකු වන මොහුගේ දෙමව්පියන් ඇතුළු පවුලේ අය කොස් කපා අලෙවි කිරීමේ නිරත වූ බැවින් මොහුට මෙම අන්වර්ථ නාමය පටබැඳී තිබේ. පසුගිය වසරේ මැයි 19 වන දින නැදිමාල ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන්ද "අවිශ්ක" නමැති පාතාල සාමාජිකයා මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් මොහුට ලබාදී තිබූ අතර, එම මුදලින් වැඩි කොටසක්ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා වියදම් කර තිබුණි. එකී ඝාතන සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ සිට පසුගිය මාසයේදී මොහු ඇප මත නිදහස්ව සිටි අයෙකි.

මොනරාගල බිබිල ප්‍රදේශයේ සිට වෙළඳාම සඳහා කොස් රැගෙන එන පුද්ගලයෙකුගේ නිවසේ සැඟව සිටියදී, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් කුමාර (84762) මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ඉලක්ක කළ පුද්ගලයා වෙනුවට වැරදීමකින් ඊට යාබද නිවසේ පදිංචි හෙට්ටි ආරච්චිගේ නලින් කුසන්ත නමැති ත්‍රීරෝද රථ රියදුරාගේ නිවසට මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි.




ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයාගේ නිවස වෙනුවට ඊට යාබදව පිහිටි ඔහුගේ සහෝදරයාගේ නිවස වැරදීමකින් පෙන්වා දුන් 30 හැවිරිදි දෙහිවල පදිංචිකරුවෙකුද කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිවස පෙන්වා දීම වෙනුවෙන් රුපියල් විසිදහසක මුදලක් ඔහුට හිමිව ඇත. මීට අමතරව, මොවුන් දෙදෙනා සංඝබෝධි මාවතට ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරාද රුපියල් හයදහසක මුදලක් ලබාගැනීමේ චෝදනාව මත දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍යද තිබී සොයාගෙන ඇත.

many-details-revealed-about-the-murder-of-the-two-children-in-dehiwala

many-details-revealed-about-the-murder-of-the-two-children-in-dehiwala