
2022 වසරේ දේශීය ආදායම් බදු සංශෝධන පනතට අනුකූලව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. විනිසුරු සංගම් කිහිපයක් මගින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් මෙම තීන්දුව ලබා දී ඇත.
මෙලෙස ගොනු කෙරුණු පෙත්සම් නිෂ්ප්‍රභ වූයේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් හා අතිරේක මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ නිලධාරීන්ගේ සංගමය මෙන්ම කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය විසිනි.ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මුලින්ම මෙම බදු අයකිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් ගොනු කළ පෙත්සම්කාර සංගම් තර්ක කර තිබුණේ විනිසුරුවරුන් කිසිදු පුද්ගලයකුගේ හෝ ආයතනයක සේවකයන් නොවන බවත්, ඔවුන්ගේ වැටුපෙන් බදු අයකිරීම නීතිවිරෝධී මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වන බවත්ය. එසේම ආදායම් බදු පනත යටතේ තමන් බදුවලට යටත් නොවන බව ද ඔවුහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එම පෙත්සම් ප්‍රතික්ෂේප වූ අතර, ඊට එරෙහිව පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළහ.
පෙත්සම් විභාගයෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේ, විනිසුරුවරුන් ද ආදායම් බදුවලට යටත් වන අතර ඔවුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පවතින බවයි. ආදායම් බදු නීතිය සකස් කර ඇත්තේ විශේෂයෙන් විනිසුරුවරුන් ඉලක්ක කරගෙන නොවන බවත්, පොදුවේ බලපවත්වන බදු නීතිය විනිසුරුවරුන්ට ද එකසේ අදාළ වන බවත් තීන්දුවේ සඳහන් වේ. අධිකරණ නිලධාරීන්ගේ ස්වාධීනත්වය සහ වගකීම්වලට සරිලන පරිදි ප්‍රමාණවත් වැටුපක් ලබාදීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
අධිකරණ නිලධාරීන් බදු ගෙවීමෙන් නිදහස් කළහොත්, සාමාන්‍ය පුරවැසියන්ට නොලැබෙන විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටීමේ අවදානමක් මතුවිය හැකි අතර, එය අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසයට හානි පමුණුවන බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් දෙමින් ඇතැම් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ අදහස් සමඟ එකඟ නොවූවත්, විනිසුරුවරුන් ආදායම් බද්දට යටත් වීම සහ බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් නිගමන සමඟ එකඟතාව පළ කර තිබේ.
