
අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මීට වසර පහළොවකට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරවලට උසස් කිරීම මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. දැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරවල කටයුතු කරන අදාළ නිලධාරීන් තිදෙනාගේ එම උසස්වීම් බලශූන්‍ය කිරීමට ද අධිකරණය නියෝග කළේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන අනුර කුමාර ප්‍රේමරත්න සහ ලලිත් චන්ද්‍ර කුමාර වීරසිංහ ඇතුළු 33 දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිෂන් සභාව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිෂාන්ත, සහකාර පොලිස් අධිකාරී පී.ජී.එස්. ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී පී.එම්.පී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු එකල පැවති අමාත්‍ය මණ්ඩලය නම් කර තිබිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු සම්පත් විජයරත්න යන මහත්වරුන්ගේ එකඟතාව සහිතව විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ 2010 ජූලි මාසයේදී වගඋත්තරකාර නිලධාරීන් තිදෙනා සහකාර පොලිස් අධිකාරී ධුරවලට උසස් කර ඇත්තේ නියමිත කාර්ය පටිපාටියට පටහැනිව බවයි. එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පෙත්සම්කරුවෝ චෝදනා කළහ. එහෙත් අමාත්‍ය මණ්ඩල තීරණයක් මත විශේෂ උසස්වීමක් ලෙස මෙම පත්වීම් ලබා දුන් බව පොලිස්පතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ප්‍රකාශ විය.
වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනා සිය විරෝධතා ගොනුකර තිබුණේ වසර 15ක අසාමාන්‍ය ප්‍රමාදයකින් පසුව, එනම් 2025 ජූනි 06 වන දිනදීය. පෙත්සම කාලාවරෝධී බවත්, වගඋත්තරකරුවන් මේ වන විටත් උසස්වීම් කිහිපයක් ලබා ඇති බැවින් මෙය ප්‍රායෝගික වැදගත්කමකින් තොර ශාස්ත්‍රීය කරුණක් පමණක් බවත්, පෙත්සම්කරුවන්ගෙන් බහුතරයක් විශ්‍රාම ගොස් ඇති බවත් පවසමින් ඔවුහු මූලික විරෝධතා මතු කළහ.
කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ මෙම මූලික විරෝධතා සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(1) වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලය තිබුණද, පූර්වාදර්ශ නඩු විමර්ශනයේදී මෙම උසස්වීම ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය තීරණය කළේය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දුන් විශේෂ උසස්වීම බලශූන්‍ය කළ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩවී ඇති බව තීන්දු කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණ වියදම් දරා තිබුණද, රජයට ගාස්තු ගෙවීමට නියෝග කිරීමෙන් අවසානයේ බදු ගෙවන ජනතාව මත අමතර බරක් පැටවෙන බැවින් එවැනි නියෝගයක් නොකරන බවද තීන්දුවේ සඳහන් විය. මෙම නඩුකරයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අංජන රත්නසිරි මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරීවරුන් වෙනුවෙන් ආචාර්ය අසංක ගුණවංශ මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.
