යාතිකා බලයෙන් නොවිකෙනෙන ඉඩම් සහ නිවාස විකුණා දෙන බව පවසා, රුපියල් කෝටි දෙකකට ආසන්න රන් භාණ්ඩ වංචා කළ "කපුවෙක්" යැයි කියා ගන්නා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් එම රන් භාණ්ඩ මිලදී ගත් බව කියන තවත් පුද්ගලයෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ විමර්ශනයකින්, මෙම වංචාව අනාවරණය විය.සැකකරු, පවුම් හතළිහකට අධික රන් භාණ්ඩ සොරාගෙන මඟහැර සිටි බව පොලීසිය පවසයි. විකිණීමට නොහැකි ඉඩම් සහ නිවාස, තම යාතිකා බලයෙන් විකුණා දිය හැකි බවට පුද්ගලයන් රැසක් රවටා, ඔහු මෙම වංචාව සිදු කර තිබේ.
බණ්ඩාරගම සමූහ වාර්තාකරු බිමල් ජයසිංහ මහතා වාර්තා කරන්නේ, කාන්තාවන් ඉලක්ක කරගෙන දීර්ඝ කාලයක සිට සැකකරු මෙම වංචාව මෙහෙයවා ඇති බවයි. නිවස සහ ඉඩම විකිණීමට ඇති බවට සති අග පුවත්පත්වල දැන්වීම් පළ කරන අය සැකකරුගේ ඉලක්ක විය. මිරිහාන ප්‍රදේශයේ කාන්තාවකගේ දැන්වීමක් දැක, සැකකරු ඇය ඇමතූ බවට තොරතුරු අනාවරණය විය. තමා දුරබැහැර ප්‍රදේශයක ප්‍රසිද්ධ දේවාලයක හිටපු කපුවෙකු ලෙස හඳුන්වා දෙමින්, ඔහු ඇය හා සම්බන්ධ වී තිබේ. ඔබතුමියගේ ඉඩම කාලයක් තිස්සේ විකිණීමට නොහැකිව ඇති බව දේව බලයෙන් පෙනෙන බව ඔහු පවසා ඇත. එම ඉඩම කඩිණමින් විකිණීම සඳහා යාතිකාවක් කර දිය හැකි බව ඔහු පවසා තිබේ. සැකකරුගේ කතා විලාසයට රැවටුණු කාන්තාව, ඔහු නිවසට ගෙන්වා විස්තර විමසීය. යාතිකාව සඳහා ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය බව සැකකරු පවසා ඇත. ඊට එකඟ වූ කාන්තාව, යාතිකාව සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කර, දිනයක් වෙන් කරවාගෙන තිබේ.
කතා කර ගත් දිනයේ නිවසට පැමිණි සැකකරු, කුඩා මුට්ටියකට නිවසේ රන් භාණ්ඩ 7ක් හෝ 3ක් දමා, රතු හෝ සුදු රෙද්දකින් ආවරණය කර රැගෙන එන ලෙස ඇයට උපදෙස් දුන්නේය. ඇය ඉදිරියේම එය හොඳින් ආවරණය කර, බුලත් සහ මල්වලින් සැකසූ යාතිකා සඳහා වන මල් යහන මත තබා, සැකකරු පැය කිහිපයක් යාතිකා කර ඇත. දින 21ක් ගත වූ පසු, නිවසට සහ ඉඩමට පැන් ඉස, 21 වැනි දිනයේදී මුට්ටියේ රන් භාණ්ඩ ගන්නා ලෙස ඔහු උපදෙස් දී තිබේ. එතැන් සිට දින 14ක් ඇතුළත ඉඩම මිලදී ගැනීමට ගැනුම්කරුවෙකු නිතැතින්ම පැමිණෙන බව පවසා ඇත. ඔහු පොරොන්දු වූ මුදල්ද ලබාගෙන පිටව ගොස් තිබේ. සැකකරු පැවසූ පරිදි දින ගණන් අවසන් වූ පසු, කාන්තාව මුට්ටිය විවෘත කළද, එහි රන් භාණ්ඩ නොතිබූ අතර, ගැනුම්කරුවෙකුද පැමිණ නැත. මේ හේතුවෙන් ඇය මිරිහාන මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.
වැලිකඩ පොලීසියටද එවැන්නක් ලැබී තිබීම නිසා, මෙම සිදුවීම් දෙකටම එකම පුද්ගලයා සම්බන්ධ බව පොලිස් නිලධාරීන්ට වැටහී තිබේ. පොලිස් සැරයන් (24212) ඒකනායක නිලධාරියාට ලද තොරතුරකට අනුව, බිංගිරිය, තලගහවත්ත ටොප් සිටිවත්තේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, පිළියන්දල, වරකාපොළ සහ කුරුණෑගල පොලිස් වසම්වලද මේ ආකාරයෙන් යාතිකා කරන බව පවසා වංචා සිදු කළ බව අනාවරණය වී තිබේ. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, වංචා කළ රන් භාණ්ඩ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙත විකුණූ බව සැකකරු පවසා ඇත. ඒ අනුව, එම රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 54 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් පුද්ගලයා 36 හැවිරිදිය. සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කේ.ජී.ජේ. කහතදෙනිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකය. පොලිස් පරීක්ෂක ලීලාරත්න, පොලිස් සැරයන් (24212) ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන (94555) කුමාර, (94977) අලුදෙණිය, (107163) විදුරංග, (16214) අසරසිංහ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.