friend-caught-stealing-necklace-while-drunk

විනෝද ගමනක් අතරතුර මත්පැන් පානය කර සිටි මිතුරෙකුගේ ගෙල තිබූ රුපියල් 5,20,000 ක් වටිනා පවුම් 03 ක රත්රන් මාලය සොරාගෙන උකස් තැබූ බව කියන පුද්ගලයෙකු, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී යම් දියරයක් පානය කිරීම නිසා රෝහල්ගත කර තිබේ. සැකකරු වැසිකිළියට යන බව පවසා මෙලෙස දියරයක් පානය කර ඇති අතර, බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඔහුව පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.




පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු විසින් ඉකුත් 17 වන දින කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. පැමිණිලිකරු තම බිරිඳ සහ මිතුරන් පිරිසක් සමඟ ඉකුත් 12 වන දින පාහියන්ගල ප්රදේශයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර, එහි නාන තොටුපොළක් අසලදී පිරිස මත්පැන් පානය කර ඇත. අනතුරුව බිරිඳගේ ඥාති නිවසකට ගොස් එදින රාත්රී 9.00 ට පමණ මිතුරෙකුගේ මෝටර් රථයකින් ආපසු නිවස බලා පිටත්ව තිබේ.

එම ඥාති නිවසේ සිටි අයෙකු බුලත්සිංහල ප්රදේශයෙන් බැසීමට මෝටර් රථයට ගොඩවී ඇති අතර, අධික ලෙස මත්පැන් පානය කර සිටි පැමිණිලිකරුට රථයේ පිටුපස අසුන මැද සිටියදී නින්ද ගොස් ඇත. අසල සිටි පුද්ගලයා බුලත්සිංහලින් බැස ගිය අතර, පසුදින උදෑසන අවදි වී බලන විට පැළඳ සිටි රත්රන් මාලය අතුරුදන්ව තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ.




සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් බුලත්සිංහල සහ ඉංගිරිය ප්රදේශවල පෞද්ගලික උකස් ආයතන පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී එක් උකස් මධ්යස්ථානයකට මෙම මාලය උකස් කර රුපියල් 3,70,000 ක මුදලක් ලබාගෙන ඇති බව හෙළි විය.

පසුව පොලිසිය සැකකරුගේ නිවසට ගොස් සිදුකළ සෙවුමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී අදාළ උකස් කුවිතාන්සිය හමු වී ඇත. එහිදී තමා කළ වරද පිළිගත් සැකකරු, වැසිකිළියට ගොස් එන බව පවසා යම් දියරයක් පානය කර ඇති අතර ඒ අනුව ඔහුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.



රෝහල්ගතව පසුවන සැකකරු මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බුලත්සිංහල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිලුම් තුශාන්ත මුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.