india-poses-a-strong-challenge-to-sri-lankan-womens-cricket-team-in-japan

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජපානයේ නිෂින් නගරයේ කොරොගි ක්‍රීඩා සංකීර්ණයේදී මේ වන විට තරගයක් පැවැත්වේ. මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට සමත් විය.

මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු ක්‍රීඩා උළෙලකදී කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ.




පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්ම්‍රිති මන්දනා සහ ෂෆාලි වර්මා පළමු කඩුල්ලට පන්දු 60කදී ලකුණු 99ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූහ. ෂෆාලි වර්මා පන්දු 29කදී ලකුණු 48ක් ලබා ගත්තාය. ඇයගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. ස්ම්‍රිති මන්දනා පන්දු 45කදී ලකුණු 79ක් ලබා ගත්තාය. ඇයගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. මෙම ඉනිම අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 සීමාව පසු කළ පළමු කාන්තා ක්‍රීඩිකාව බවට පත් වීමට ද මන්දනා සමත් වූවාය.

ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞර් පන්දු 17කදී ලකුණු 19ක් ලබා ගත්තාය. රිචා ගෝෂ් පන්දු 22කදී නොදැවී ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වූවාය. ඇයගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය. භාරතී ෆුල්මාලි නොදැවී ලකුණු 7ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ කවිෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.




රන් පදක්කම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් හිමි වී ඇති අතර ඔවුන්ට ඒ සඳහා එක් පන්දුවාරයකට ලකුණු 10.85ක වේගයක් පවත්වා ගත යුතු වේ. මීට පෙර පැවති අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 178ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේදීද ජයග්‍රහණය සඳහා එම දස්කම නැවත වරක් ප්‍රදර්ශනය කිරීමට සිදු වනු ඇත. ආසියානු ක්‍රීඩා උළෙලකදී කාන්තා ක්‍රිකට් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නොමැත.

මෙම තරගය 2023 වසරේදී චීනයේ හැංජෝව් නුවරදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයේ මෙන්ම පසුගිය සැප්තැම්බර් 13 වනදා ඩුබායි හිදී පැවති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ද නැවත ප්‍රතිනිර්මාණයකි. එම තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 2023 වසරේ රන් පදක්කම දිනාගත් ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේ මේ දක්වා කිසිදු තරගයක් පරාජයට පත්ව නොමැත. එබැවින් මෙම තරගය දෙපිලටම තීරණාත්මක එකක් වනු ඇත.

india-poses-a-strong-challenge-to-sri-lankan-womens-cricket-team-in-japan

india-poses-a-strong-challenge-to-sri-lankan-womens-cricket-team-in-japan



india-poses-a-strong-challenge-to-sri-lankan-womens-cricket-team-in-japan

india-poses-a-strong-challenge-to-sri-lankan-womens-cricket-team-in-japan



india-poses-a-strong-challenge-to-sri-lankan-womens-cricket-team-in-japan