ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට හබරණ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දුම්රිය රියදුරා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට අනුයුක්තව සේවය කරන එන්.ඒ.ඩී.පී.
ගුණතිලක නැමැති මෙම රියදුරාට එරෙහිව වනජීවී නිලධාරීන් පවරා තිබූ නඩුව අවසන් කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය පියවර ගත්තාය.මෙම නඩු කටයුත්ත කැඳවූ අවස්ථාවේදී සැකකාර රියදුරා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සඳහන් කළේ, වනාන්තර හරහා වැටී ඇති දුම්රිය මාර්ගවල සිදුවන මෙවැනි අනතුරුවලට දුම්රිය රියදුරන් වගකිවයුතු බවට තර්ක කරන්නේ නම්, වන අලි ගහනය නිසියාකාරව කළමනාකරණය කිරීමට අපොහොසත් වීම සහ රාජකාරිය පැහැර හැරීම වෙනුවෙන් වනජීවී නිලධාරීන්ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පවතින දුම්රිය ආඥාපනත ප්‍රකාරව දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් රියදුරන් වගකීමට බැඳී නොමැති අතර, ඔවුන් එම වගකීමෙන් නිදහස් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
සාමාන්‍ය රථවාහන මෙන් සීඝ්‍රගාමී දුම්රියක් ක්ෂණිකව නතර කිරීමේ හැකියාවක් නොමැති බව මෙහිදී අවධාරණය කළ නීතිඥවරයා, සතෙකු දුම්රිය මාර්ගයට ඇතුළු වීමට ඉඩහැරීම හෝ ඇතුළු කිරීමට සැලැස්වීම දුම්රිය ආඥාපනතේ 37 වන වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පෙන්වා දුන්නේය. මේ අතර, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ රියදුරාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමට මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගය ඉටු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබිණි. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලදී.
