ice-worth-rs-800-million-belonging-to-pigeon-suda-found-among-a-stack-of-towels-at-the-colombo-port

කොළඹ වරායේ බහාලුම් අංගනයක තිබී රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 470කට ආසන්න දැවැන්ත තොගයක් සොයාගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී සමත්ව තිබේ. මොරොක්කෝව වෙත ප්‍රති-නැව්ගත කිරීමේ මුවාවෙන් පාකිස්තානයේ සිට ඉකුත් ජූනි මස 27 වැනිදා මෙරටට ගෙනවිත් තිබූ අදාළ බහාලුම් පරීක්ෂා කිරීමේදී, තුවා තොගයක් අතර සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇති අතර මෙය මෙරට ගොඩබිමදී අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය ලෙස වාර්තා වේ.




විදෙස්ගතව සිටින පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ඉකුත් 28 වැනිදා ලබාගත් අධිකරණ නියෝගයකට අනුව රේගු නිලධාරීන්ගේද සහාය ඇතිව මෙම සෝදිසි කිරීම සිදුකර ඇත. අදාළ මත්ද්‍රව්‍ය තොගය වෙනත් රටකට යවන බව පෙන්වා තිබුණද, ඒවා මෙරට අභ්‍යන්තරයට ලබාගැනීමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බවට පොලීසිය සැකකරයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි 44 හැවිරිදි ආරුමුගන් ශෂිදරන් නැමැති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ආයතනය හරහා මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට අනාවරණය වී තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත ජම්පටාවීදියේ නිවාස සංකීර්ණයක රැඳී සිටි පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් අතර, වැටලීම අවස්ථාවේ පලාගිය වාප්පු ලිපිකරුවෙකු පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරවී ඇත. ඩුබායි සිට පාකිස්තානයට පලාගොස් සිටින ‘පරෙවි සුදා’ නැමැති ජාවාරම්කරු ඇතුළු අංගොඩ ප්‍රියන්ත සහ රූබන් යන අය මෙහි පිටුපස සිටින බවට දැනට විමර්ශනවලදී සැකපළ කෙරේ.




පසුගිය කාල සීමාවේ නාවික මාර්ග ඔස්සේ සිදුකළ දැවැන්ත වැටලීම් හේතුවෙන් ජාවාරම්කරුවන් මේ වන විට බහාලුම් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීම කෙරෙහි යොමුවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පවසයි. පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය කිලෝ 18,000ක් සමඟ සැකකරුවන් 260,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට පෙර ‘රෙඩ් ලේබල්’ සහිත බහාලුම් 300කට අධික සංඛ්‍යාවක් නිසි පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීමේ සිද්ධියත් සමඟ, වරාය බහාලුම් පරීක්ෂාවන්හි සුරක්ෂිතභාවය පිළිබඳ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

news-2026-09-01-143355