යුද බිමේ අසහාය මෙහෙයුම්කරු ලෙස පොතපතින් සහ ගීතයෙන් වර්ණනාවට ලක්වූ දේශපාලන දැවැන්තයෙකු, තමන් කිසිදිනෙක යුද බිමේ ක්‍රියාන්විත සඳහා සෘජුව මැදිහත් නොවූ බවට අධිකරණය හමුවේ කළ ප්‍රකාශයක් මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කර තිබේ.
ලලිත් සහ කුගන් යන සමාජ ක්‍රියාකාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ (29) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දුන් හිටපු ජනාධිපති මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය අතීත ක්‍රියාකාරකම් බොහොමයක් පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව ප්‍රකාශ කළේය. ප්‍රකට මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කළේ, එම සිදුවීම පිළිබඳව තමන්ට ඇත්තේ යන්තම් මතකයක් පමණක් බවත්, නොයාර් මහතා මුදාහැරියේ තම උපදෙස් මත බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්ය.
කීත් නොයාර් අතුරුදන් වූ බවක් හෝ ඔහුට පහරදුන් බවක් තමන් නොදන්නා බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා, එම සිද්ධිය ගැන තමන්ට දුරකතනයෙන් දැනුම් දුන්නේ කවුරුන්දැයි යන්න පවා මතකයේ නොමැති බව පැවසූ අතර මෙම සාක්ෂි දීමේ වාසිය ලබාගැනීමට ඔහු ආරක්ෂක ලේකම්ගේ ලිපිකාර රාජකාරි පමණක් තමන් ඉටුකළ බවක් කියන්නට වීම නිසා ඔහු මෙතෙක් ගොඩනගාගෙන තිබුනේ ව්‍යාජ ප්‍රතිරූපයක් බව ඒත්තු ගැන්විණි.
මෙහිදී සිදුවූ විශේෂ ප්‍රකාශය මෙසේය. (උපුටාගැනීම පහතින්)
"නීතීඥ ප්‍රශ්නය:
ඔබ එවකට ආරක්ෂක ලේකම් විදිහට පැහැර ගැනීම් සහ අතුරුදන්වීම සම්බන්ධව සෘජුව මැදිහත් වෙලා උපදෙස් දුන්නා නේද?
ගෝඨාභය පිළිතුර:
මම එය ප්‍රතික්ෂේප කරනවා. මම භූමියේ කිසිම ක්‍රියාන්විතයකට සම්බන්ධ වී නැහැ. මට ආරක්ෂක ලේකම්වරයා ලෙස තිබූ රාජකාරිය වන්නේ රජයෙන් ගන්නා ප්‍රතිපත්ති ඒ ආයතන වෙත සම්ප්‍රේෂණය කිරීම. මම සෘජුව භූමියේ ක්‍රියාන්විතයන්ට කිසි ලෙසක සම්බන්ධ වෙලා නැහැ."
මෙම අධිකරණ ප්‍රකාශය වඩාත් සෝපහාසාත්මක වන්නේ රාජපක්ෂ මහතා වටා දේශපාලනිකව ගොඩනගා තිබූ දැවැන්ත වීර ප්‍රතිරූපය හේතුවෙනි. සී.ඒ. චන්ද්‍රප්‍රේම විසින් රචිත "ගෝඨාස් වෝර්" කෘතිය හරහා එවකට හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වය පවා හිතාමතාම නොසලකා හරිමින්, සමස්ත යුද ජයග්‍රහණයේ උපායමාර්ගික නියමුවා ලෙස ගෝඨාභය රාජපක්ෂයන්ව හුවා දක්වා තිබිණි. එය ලේඛකයා ගෝඨාභයට ජනපති ධූරය ලබාදීම සඳහා ඉතිහාසය විකෘත්‍රි කරවා ලියූ කෘතියක් ලෙස විස්තර වූවද එම විවේචනය හැට නම ලක්ෂයක් ඡන්ද දුන් අයට එවක නොතේරිණි.
එපමණක් නොව, 2019 ජනාධිපතිවරණ සමයේදී "වැඩකරන අපේ විරුවා" ගීතය හරහා රට පුරා ගෙනගිය ප්‍රචාරණයෙන් ඔහු අතිශය ක්‍රියාශීලී, සෘජු තීරණ ගන්නා අසහාය නායකයෙකු ලෙස සමාජගත කළ අතර, අද වන විට එම ප්‍රතිරූපය අධිකරණය හමුවේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.
2005 නොවැම්බර් සිට 2015 ජනවාරි දක්වා තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සිය කාර්යභාරය වූයේ හුදෙක් රජයේ ප්‍රතිපත්තිමය තීරණ අදාළ ආයතන වෙත සන්නිවේදනය කිරීම පමණක් බවත්, භූමියේ ක්‍රියාන්විතවලට උපදෙස් දීමට තමන්ට හැකියාවක් නොතිබූ බවත් ඔහු පවසයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස සිටියදී පවා කීත් නොයාර් සිද්ධිය වැනි බරපතළ අපරාධයක් පිළිබඳව එවකට සිටි පොලිස්පතිවරයාට හෝ නිසි ලෙස දැනුම් දුන්නාදැයි ඔහුට නිශ්චිත මතකයක් නැති වීම බරපතළ සැක සංකා මතු කරන්නකි.
යුද ජයග්‍රහණයේ ප්‍රධාන හිමිකරුවා ලෙස ගීතයෙන් සහ කෘතිවලින් කිරුළු පැළඳි "වැඩකරන විරුවා", තීරණාත්මක මානව හිමිකම් විමර්ශනයන් හමුවේ කිසිවක් නොදත් සාමාන්‍ය ලිපිකරුවෙකුගේ භූමිකාවට පසුබැසීම තුළින් ඉතිරි කරන්නේ, මේ රටේ පීඩිත ජනතාවට සහ වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටුවන්නේ කවදාද යන කටුක ප්‍රශ්නාර්ථය පමණි.
