එයාර්බස් (Airbus) ගනුදෙනුවට සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
රුපියල් 500,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මෙලෙස මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබීය. මීට අමතරව, අදාළ ඇපකරුවන් විසින් තම ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත් සහතික අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති අතර, සැකකාර මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
කිසියම් අයුරකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හෝ තර්ජනය කිරීමට සැකකරු කටයුතු කළහොත් ඔහුගේ ඇප නියෝගය අවලංගු කරන බවට ද මහේස්ත්‍රාත්වරයා එහිදී දැඩි ලෙස අවවාද කර ඇත. මෙම නඩුව සම්බන්ධ ඉදිරි විභාගය ඔක්තෝබර් 14 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුකරය අනුව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ ඊයේය. ඒ නිසා අද එක් නඩුවකින් ඇප ලබාගත් නමුත් ඔහුට බන්ධනාගාර බසයෙන් නැවත යාමට සිදුවූයේ අනෙක් නඩුවේ ඇප නොලද නිසාය.
