ගම්පහ යක්කල පාරේ පිහිටි 'අපේ නිවහන' පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය වෙනත් කිසිදු තෙවැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ගම්පහ අංක 3 දිසා විනිසුරු දුලානි වීරවර්ධන මහත්මිය විසින් ඉකුත් 21 වනදා වාරණ සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ දේපළ මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මගින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත භුක්තිය පිණිස පවරා දී තිබුණි. එහෙත් එම පක්ෂයේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් හා නීති විරෝධී ලෙස එහි රැඳී සිටිමින්, පක්ෂ කාර්යාලයේ පවතින ස්වරූපය වෙනස් කිරීමට කටයුතු කරන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.
මෙම නියෝගයට අදාළව විත්ති පාර්ශ්වය වෙත සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කළේය. නීතිඥවරුන් වන චාමර සපුතන්ති, නිකිණි මාපිටිගම සහ තනුජ සඳරුවන් යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත නීතිඥ ඉශාන් අලවතුරගේ මහතා මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
