
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කරගත හැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
අද දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලැබුණු මෙම විශේෂ අර්ථ නිරූපණය සභාවට ඉදිරිපත් කළ කථානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ජනතාවගේ ජනමත විචාරණ අනුමැතියකින් තොරවම මෙම සංශෝධනය සම්මත කිරීමට ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන්නේය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දැනට පවතින අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම කෙටුම්පත සලකා බැලූ විනිසුරු මඬුල්ල, එහි ඇතැම් වගන්තිවල අඩංගු වචන සංශෝධනය විය යුතු ආකාරය ද තීන්දුව මඟින් පෙන්වා දී ඇත. එසේම මෙම පනත බලාත්මක වන දිනය වන විට අගවිනිසුරු ධුරය උසුලන තැනැත්තාට අදාළ වන පරිදි පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයේදී කරුණු දක්වා තිබේ.
මීට අමතරව, අදාළ සංශෝධනයට සමගාමීව සභාවට ඉදිරිපත් කෙරුණු අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ විශේෂ නියෝගයකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද මෙම සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇත.
