මඩකලපුව ප්‍රදේශයේ හෝටලයකදී තම කුඩා දරුවන් දෙදෙනා ගින්නකට මැදිවී මියයාමේ ඛේදවාචකයට සම්බන්ධ සැකකාර පියා, බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේදී පසුගිය 26 වැනිදා සිය දිවි හානිකරගෙන ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා ඔහුගේ දේහය මේ වන විට තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
පසුගිය මැයි මස අගභාගයේදී මෙම පුද්ගලයා, සිය බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ මඩකලපුව ප්‍රදේශයට ගොස් දිනකට රුපියල් 3500ක කුලියට හතරවන මහලේ හෝටල් කාමරයක් ලබාගෙන එහි නවාතැන් ගෙන තිබුණි. එහිදී අඹුසැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව බිරිඳ සිය නව හැවිරිදි වැඩිමල් දරුවා ද කැටුව යළි බෙලිඅත්ත බලා පිටව ගොස් ඇත. ඉන් පසුව පියා විසින් වයස අවුරුදු පහක් වූ චාන්දනී නිමාෂා සහ තුන් හැවිරිදි කසුන් මධුසංක යන දරුවන් දෙදෙනා කාමරය තුළ දමා පිටතින් දොර අගුළු ලා තිබූ අවස්ථාවකදී එහි තිබූ මෙට්ටයකට ලයිටරයකින් ගිනි ඇවිලී තිබේ. එම ගින්නෙන් නිකුත් වූ අධික දුමාරය ආඝ්‍රාණය වීම හේතුවෙන් දරුවන් දෙදෙනා මියගොස් සිටි බව මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලදී.
මෙම දරුවන්ගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න මහතා සිදුකළ විමර්ශනවලදී පියාගේ හැසිරීම පිළිබඳව දැඩි සැකයක් මතු විය. සිය බිරිඳ කාත්තන්කුඩි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක පිළිකා රෝගයක් සඳහා ප්‍රතිකාර ලබන බැවින් ඇය බැලීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවූ බවට ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබුණි. එහෙත් පොලිස් නිලධාරීන් සිදුකළ සොයාබැලීමේදී එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එම කාන්තාවට කිසිදු පිළිකා රෝගයක් නොමැතිව බෙලිඅත්ත ප්‍රදේශයේ සිය නිවසේ නිරුපද්‍රිතව සිටි බවත් අනාවරණය විය.
තම බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ආධාර ලබාගැනීමටත්, දරුවන් දෙදෙනා යොදවාගෙන සිඟමන් යැදීමටත් මොහු කටයුතු කර තිබූ බව විමර්ශනවලින් හෙළි විය. ඊට අමතරව, නීතිය සහ සමාජය නොමඟ යැවීමේ අරමුණින් ඔහු සිය සැබෑ අනන්‍යතාවය වසන් කර කැලණිය කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත්, 2024 වසරේදී අස්ථානගත වූ බවට පැමිණිලි කර තිබූ ජාතික හැඳුනුම්පතක් භාවිත කරමින් වෙනත් නමකින් පෙනී සිට ඇති බවද තහවුරු විය. මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර නිරන්තරයෙන් පැවති පවුල් ආරවුල් මෙම ඛේදනීය සිදුවීම් මාලාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් වැඩිදුරටත් සනාථ වී ඇත.
