arpico-super-fined-for-selling-expired-blue-gin

කල් ඉකුත් වූ පාන වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම හේතුවෙන් හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශවල පිහිටි ආර්පිකෝ සුපර් (Arpico Super) වෙළෙඳසැල් දෙකට රුපියල් 125,000ක සමස්ත දඩ මුදලක් ගෙවීමට සිදුව තිබේ. පාරිභෝගික ආරක්ෂණ නීති සහ විධාන උල්ලංඝනය කිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවලට අදාළව මෙම තීන්දුව ලැබී ඇත.




මෙයින් කොට්ටාව ආර්පිකෝ සුපර් වෙළෙඳසැලට රුපියල් 75,000ක දඩයක් නියම කර ඇත්තේ, කල් ඉකුත් වූ මිලිලීටර් 200 ප්‍රමාණයේ නිල් කටරොළු බීම බෝතල් අලෙවිය පිණිස ප්‍රදර්ශනය කර තැබීම නිසාවෙනි. ඊට අමතරව හෝමාගම, අවිස්සාවේල්ල පාරේ පිහිටි ආර්පිකෝ සුපර් සෙන්ටර් ආයතනයට රුපියල් 50,000ක දඩයක් නියම වී ඇත්තේ කල් ඉකුත් වූ ලීටරයේ සිසිල් බීම ඇසුරුම් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවටය.

සැප්තැම්බර් 10 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගෙන ඇති අතර, ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල් නියම කරනු ලැබීය.




සුපිරි වෙළෙඳසැල් ජාලයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී පවා ඒවායේ කල් ඉකුත්වීමේ දිනය ඇතුළු සියලු නිෂ්පාදන තොරතුරු හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියි.