
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබා දී ඇති මාර්ගෝපදේශ නොසලකා හරිමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව තදින්ම විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.
ජේ. සේනාධීර මහතා පවසයි. පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පාදුක්ක සහ ගම්පහ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගත යුතු බවට 2026 මැයි මස 05 වන දින නිකුත් කරන ලද R.T.M. 93 දරන පණිවුඩය මගින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනටමත් උපදෙස් නිකුත් කර තිබේ. එමෙන්ම 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනතට අනුකූලව මෙම ඩිජිටල් රක්ෂණ පත් සඳහා පූර්ණ නීත්‍යානුකූල පිළිගැනීමක් හිමි වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
රියදුරෙකු සතුව අදාළ ඩිජිටල් කාඩ්පත භෞතිකව නොමැති අවස්ථාවකදී වුවද, රක්ෂණාවරණය සක්‍රිය මට්ටමේ පවතීදැයි තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට පහසුකම් සලසා ඇත. ඒ අනුව *1338# සේවාව ඔස්සේ, 1338 අංකයට SMS පණිවුඩයක් යැවීමෙන් හෝ 1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් වාහන අංකය හෝ රක්ෂණ අංකය ඇතුළත් කර අදාළ තොරතුරු ලබාගත හැකිය.
යම් හෙයකින් ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරියෙකු සිටී නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ 070 47 55 600 යන රථවාහන මූලස්ථාන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාව සලසා තිබේ.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607හිම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් සියලුම නිලධාරීන් නැවත දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, නිලධාරීන්ගේ දැනුවත්භාවය තවදුරටත් ඉහළ නංවමින් රියදුරන්ට සිදුවන අනවශ්‍ය පීඩාවන් වැළැක්වීම සහ අදාළ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.