chaminda-vaas-is-the-new-fast-bowling-coach-of-the-delhi-capitals-team

ඉදිරි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් මේ පිළිබඳව ඩෙල්හි කැපිටල්ස් පාලනාධිකාරිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති වුවද, වාස් මේ වන විටත් නවදිල්ලියේ පැවැත්වෙන කණ්ඩායමේ පුහුණු කඳවුර සහ තේරීම් තරග සඳහා එක්ව සිටින බව ක්‍රීඩා වාර්තා සනාථ කරයි.

51 වැනි වියෙහි පසුවන චමින්ද වාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම පුහුණුකරණයෙහිද දීර්ඝ අත්දැකීම් සම්බාරයක් සහිත ක්‍රීඩකයෙකි.




ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක් සහ එක්දින තරග 322 කදී කඩුලු 400 ක් ලබාගත් ඔහු, ජාත්‍යන්තර තලයේ ඉහළම සාර්ථකත්වයක් ලැබූ පන්දු යවන්නන් අතරට අයත් වේ. 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන බලකණුවක් වූ වාස්, දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කළේය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මෙන්ම විවිධ දේශීය හා විදේශීය ලීග් කණ්ඩායම්වල ද පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ වාස්ගේ අත්දැකීම්, ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ බලඇණිය සවිමත් කිරීමට පදනමක් වනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර, ඉන්දීය ප්‍රෙමියර් ලීග් තරගාවලිය පුරා ඉහළම කඩුලු ලාභීන් අතර රැඳී සිටින හිටපු ඉන්දීය ප්‍රවීණ කැරකෙන පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්රා ද දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙම පුහුණු කඳවුරට එක්ව සිටියි.

තරගාවලිය පිළිබඳ ඔහුගේ දීර්ඝ අත්දැකීම් කැපිටල්ස් පන්දු යවන බළකායට සැලකිය යුතු පිටිවහලක් වනු ඇත.ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙහිද වෙනසක් සිදුවීමට නියමිත අතර, හේමං බදානිගෙන් පසුව හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි එම ධුරයට පත්වීමට නියමිතය. එමෙන්ම හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං සහකාර පුහුණුකරු ලෙස එක්වන බවද අනාවරණය වී ඇත. 2025 IPL තරගාවලියේදී අවසන් පූර්ව වටයට (Playoffs) සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් අනතුරුව, ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායම සිය පුහුණුකාර මණ්ඩලයේ මෙවැනි පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර තිබේ. මෙම නව පුහුණුකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් 2027 තරගාවලිය සඳහා වඩාත් තරගකාරී කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වීමට ඩෙල්හි පිල මේ වන විට සූදානම් වෙමින් සිටියි.