
දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂේත්‍රවල පූර්ණ පරිවර්තනයක් සිදු නොකර රටක් පූර්වගාමීව ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ අතීතයේ පැවැති යල්පැනගිය දේශපාලන රටාවන් නූතන යුගයට කිසිසේත්ම නොගැළපෙන බවයි.
අතීතයේදී දේශපාලනඥයන් ජනතාවට ඉහළින් වැජඹෙමින් පාලනය ගෙන ගිය අතර, සාමාන්‍ය මහජනතාවට සිදුවූයේ බියෙන් හා යටහත් පහත්භාවයෙන් පාලකයන්ට අවනත වීමට බව හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, සාර්ථක ගමනක් උදෙසා දේශපාලන නායකත්වය සහ මහජනතාව අතර සමීප මෙන්ම යහපත් අන්තර් සබඳතාවක් පැවැතීම අත්‍යවශ්‍ය සාධකයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පියා ජනාධිපති වූ පමණින් පුතා ද එම ධුරයට පත්විය යුතුය යන පවුල්වාදී චින්තනය අතීත දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් මිස නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අදාළ වන්නක් නොවන බව ද හෙතෙම පැහැදිලි කළේය. මෙරට තුළ දීර්ඝ කාලයක් පුරා පැවැති එවැනි පවුල් පෝෂණය කිරීමේ දේශපාලන යුගය 2024 සැප්තැම්බර් 21 වනදා මෙරට ජනතාව විසින් මුළුමනින්ම පරාජය කර අවසන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.