bus-lalith-extorted-money-from-21-businessmen-in-hanwella

ඩුබායි සිට මෙරටට ගෙන එන ලද 'බස් ලලිත්' හෙවත් ලලිත් කන්නන්ගර නැමැති පාතාල අපරාධකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හංවැල්ල, දිද්දෙණිය පොදු සුසාන භූමියේ වළ දමා තිබූ ටී-56 අවියක්, පිස්තෝලයක් සහ රිපීටර් ෂොට්ගන් වර්ගයේ ගිනිඅවියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) සොයාගනු ලැබීය. සැකකරු ඩුබායිහි සිටිමින් සිය ගෝලබාලයන් ලවා සිදුකළ මිනිස් ඝාතන සහ බියගැන්වීම් සඳහා මෙම අවි යොදාගන්නට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.




හංවැල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ ඝාතන 06ක් සඳහා මෙම ගිනිඅවි භාවිත කර ඇත්දැයි තහවුරු කරගැනීමට ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය. විමර්ශනවලදී හෙළිවී ඇති පරිදි බස් ලලිත්ගේ මෙහෙයවීමෙන් හංවැල්ල සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරිකයන් 21 දෙනෙකුගෙන් කප්පම් ලබාගෙන ඇති අතර, ඩුබායි හි සිට ඔහු මෙහෙයවූ මෙම අපරාධවලට මෙරට සිට සහාය දැක්වූ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මෙම විමර්ශනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන්, එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.