el-nino-could-cause-6500-deaths-in-the-philippines-warns

බටහිර පැසිෆික් කලාපය හරහා මතුවෙමින් පවතින 'සුපිරි එල් නීනෝ' (Super El Niño) තත්ත්වය හේතුවෙන් පිලිපීනය තුළ ඉදිරි මාස කිහිපය තුළදී අධික උෂ්ණත්වය ආශ්‍රිත මරණ 6,500ක් පමණ සිදුවිය හැකි බවට ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් අනතුරු අඟවා තිබේ. දේශගුණික බලපෑම් පිළිබඳ අධ්‍යයනය කරන අමෙරිකානු ආයතනයක් වන ක්ලයිමේට් ඉම්පැක්ට් ලැබ් (Climate Impact Lab) විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, 2026 සැප්තැම්බර් සිට 2027 පෙබරවාරි දක්වා කාලය තුළ සාමාන්‍ය වසරකට වඩා මෙම අමතර මරණ සංඛ්‍යාව වාර්තා වනු ඇතැයි ඔවුහු පුරෝකථනය කරති.




ගෝලීය වශයෙන් මෙම තත්ත්වය ඉතා දරුණු විය හැකි අතර, ලොව පුරා මිනිසුන් 451,000කට ආසන්න සංඛ්‍යාවක් එල් නීනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී මිය යා හැකි බව එම ආයතනයේ සම-නිර්මාතෘ මයිකල් ග්‍රීන්ස්ටෝන් (Michael Greenstone) ප්‍රකාශ කර ඇත. මෙම පර්යේෂණ ආයතනය චිකාගෝ විශ්වවිද්‍යාලය, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය, රෝඩියම් ගෲප් සහ රට්ගර්ස් විශ්වවිද්‍යාලය යන ආයතනවල පර්යේෂකයන්ගේ එකතුවකින් 2016 වසරේදී පිහිටුවා ගන්නා ලද්දකි. මේ අතර, පිලිපීන දේශගුණික විශේෂඥයන් ද බදාදා දින වෙනමම මාධ්‍ය හමුවක් පවත්වමින් සුපිරි එල් නීනෝ තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අදාළ ආන්තික කාලගුණික තත්ත්වය මේ වන විටත් රට තුළට පැමිණ ඇති බව තහවුරු කර ඇත. පිලිපීන වායුගෝලීය, භූ භෞතික සහ තාරකා විද්‍යා සේවා පරිපාලනයේ (Pagasa) දේශගුණික නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා ලීසා සොලිස් (Ana Liza Solis) පෙන්වා දෙන පරිදි, මෙම තත්ත්වය උග්‍ර වීමත් සමඟ පළාත් අටක් දැඩි නියඟයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද පළාත් 45කට වර්ෂාපතනයේ ඌනතා සහ වියළි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන අතර, තවත් පළාත් 27ක් දැඩි වියළි කාලගුණයකට ලක්වනු ඇත.

අඩු වර්ෂාපතනය සහ ඉහළ උෂ්ණත්වය හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති. මෙවන් පසුබිමක් තුළ, පිලිපීන අගනුවර අවට ජලාශ මේ වන විට පිරී පැවතුණද,

මෝසම් වර්ෂා සමය අවසන් වීමෙන් පසු එම ජල මට්ටම් පහත වැටිය හැකි බැවින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ජල කාලගුණ විද්‍යාඥ එඩ්ගාර් ඩෙලා කෲස් (Edgar dela Cruz) සඳහන් කර තිබේ. මෙම දේශගුණික අර්බුදය පිලිපීනයට පමණක් සීමා නොවන අතර, ගිනිකොනදිග ආසියාවේ අනෙකුත් රටවලටද දැඩිව බලපානු ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් හටගත් ලැව්ගිනි සමඟ මේ වන විටත් සටන් කරමින් සිටින ඉන්දුනීසියාවේ, ඉදිරි මාස කිහිපය තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් මරණ 19,300ක් සිදුවිය හැකි බව පුරෝකථනය කර ඇති අතර වියට්නාමය, තායිලන්තය සහ කාම්බෝජය යන රටවලින් ද තවත් අමතර මරණ 19,400ක් පමණ වාර්තා විය හැකි බවට පර්යේෂකයෝ ඇස්තමේන්තු කරති. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, ඉදිරි මාසවලදී ඉහළ ප්‍රමුඛතාවක් සහිත කලාප වෙත හදිසි ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම් යොමු කළ යුතු බවට අදාළ පර්යේෂණ කණ්ඩායම අවධාරණය කර ඇත.

el-nino-could-cause-6500-deaths-in-the-philippines-warns

el-nino-could-cause-6500-deaths-in-the-philippines-warns