
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී ඊයේ (27) උදෑසන සිදුවූ අමානුෂික වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙවන කාන්තාවද අද වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය අම්බලන්ගොඩ, ගොඩහේන රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඩී.එන්. ජී. මල්ලිකා නැමැත්තියයි.
මෙම දරුණු ප්‍රහාරයෙන් ඊයේ දිනයේදීම තවත් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගියහ. ඒ, අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ත්‍රීරෝද රථයේ රියදුරු ලලිත් සුසන්ත ද සිල්වා සහ මියගිය මල්ලිකා නැමැත්තියගේ දියණිය වන 'කළු නෝනි' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවයි. මෙම පිරිස බද්දේගම පිහිටි ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයට ගොස් අත්සන් තබා යළි ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත.
පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇත්තේ මෙය පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවයි. ඝාතනයට ලක්වූ 'කළු නෝනි' නමැත්තිය, පසුගිය 2024 වසරේ අතුරුගිරියේදී 'ක්ලබ් වසන්ත' ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ලන්තුහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් 'ලොකු පැටී' නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයට සම්බන්ධ තැනැත්තියක් බවට හඳුනාගෙන තිබේ. ලොකු පැටී යනු ඉකුත් මැයි 04 වැනිදා විදේශයක සිට මෙරටට ගෙන්වා ගනු ලැබූ අයෙකි.
මෙම ඝාතනය විදෙස්ගතව සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි නායකයකු වන සෝබන හන්දි ජයලත් ද සිල්වා නොහොත් 'කරන්දෙණියේ සුද්දා' යන අයගේ ගෝලයන් විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය මේ වනවිට තොරතුරු තහවුරු කරගෙන ඇත. වෙඩි තැබීම සඳහා පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෝටර් රථයකින් පැමිණ ඇති අතර, ඔවුන් ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් රැගෙන විත් ඉන් එක් අවියකින් පමණක් ප්‍රහාරය එල්ල කර තිබේ.
ඝාතකයන් විසින් මග හරස් කර ත්‍රීරෝද රථයට වෙඩි වරුසාවක් එල්ල කර පලායන ආකාරය අසල වූ සීසීටීවී කැමරාවල මනාව සටහන්ව පවතී. අපරාධකරුවන් සිය ගමන් මාර්ගය තුළ අවස්ථා කිහිපයකදීම මෝටර් රථ කිහිපයක් මාරු කරමින් ගමන් කර ඇති බව විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන අංක තහඩු වෙනස් කරන ලද කුඩා ප්‍රමාණයේ රතු පැහැති මෝටර් රථයක් බද්දේගම, වවුලගල ප්‍රදේශයේ පාළු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන තිබේ.
