no-five-star-hotels-for-cricket-teams-at-the-asian-games-in-japan

ජපානයේ නගෝයා හිදී එළඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රිකට් කණ්ඩායම් සඳහා තරු පහේ හෝටල් පහසුකම් ලබාදීමට නොහැකි බව සංවිධායකයන් නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ජපානය, හොංකොං, මැලේසියාව, ඕමානය සහ නේපාලය යන රටවල් 10 නියෝජනය කරමින් කණ්ඩායම් තරග වදිනු ඇත.

ඍජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මෙම මස 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.




සාමාන්‍යයෙන් විදේශ තරග සංචාරවලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරු පහේ හෝටල් නවාතැන් හිමිවීම අනිවාර්ය සිරිත් විරිත් අතර පැවතියද, තරග පැවැත්වෙන නගෝයා නගරයේ එවැනි උසස් මට්ටමේ හෝටල් සීමිත වීම හේතුවෙන් මෙවර එම පහසුකම ලබාදීම ගැටලුසහගත වී තිබේ. ටෝකියෝ හෝ ඔසාකා යන නගරවල ඇති තරු පහේ හෝටල්වල ක්‍රීඩකයන් නවාතැන් ගතහොත්, එතැන් සිට ක්‍රීඩාංගණය වෙත පැමිණීමට බුලට් දුම්රියෙන් පැය එකහමාරක පමණ කාලයක් ගතවේ. එමගින් ක්‍රීඩකයන්ට සිදුවන ගමන් බිමන් අපහසුතාව මඟහරවා ගැනීම පිණිස තරගාවලිය පැවැත්වෙන නගෝයා නගරයේම නවාතැන් සපයා දීමට සංවිධායකයෝ පියවර ගෙන ඇත.

නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් ආරම්භයේදී යම් උණුසුම් කතාබහක් නිර්මාණය වූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පහසුකම් පිළිබඳ ගැටලුවක් නොමැති බවත් ඒ පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසා තිබේ. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උප සභාපති රජීව් ශුක්ලා මහතා ද සඳහන් කර ඇත්තේ ලබාදී ඇති නවාතැන් තරු පහේ ප්‍රමිතියේ නොවුණද ඒවා සුවපහසු මට්ටමක පවතින බව වීඩියෝ සහ ඡායාරූප මගින් තහවුරු කරගත් බවයි. ඒ අනුව හෝටල් පහසුකම්වලට වඩා ක්‍රීඩා පිටිය සහ තණතීරුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.




මේ වන විටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත පිරිසක් ජපානයට ගොස් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය සහ තණතීරු පරීක්ෂා කර ඇති අතර, එම පරීක්ෂණවලින් පසුව පිටිය සහ තණතීරු සතුටුදායක මට්ටමක පවතින බවට තහවුරු කර තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණය භාර නිලධාරීන්ගේ තාක්ෂණික සහයෝගය ඇතිව, මීට පෙර බේස්බෝල් පිටියක් ලෙස පැවැති ස්ථානයක දෙමුහුන් තණතිල්ලක් සකස් කරමින් මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය තරග සඳහා සූදානම් කර ඇත.

no-five-star-hotels-for-cricket-teams-at-the-asian-games-in-japan