ශිරාන් බාසික් නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු වන නලින් අර්ජුන නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නීතිවිරෝධි ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපළ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
2020 මැයි 14 වැනිදා පෑලියගොඩ පොලීසිය විසින් ජීප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. එම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ද විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන දේපළ මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව, මහර, කඩවත ප්‍රදේශයේ පර්චස් 19.90ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවෙසක් සහ සිංහාරමුල්ල, කැලණිය ප්‍රදේශයේ පර්චස් 18ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවෙසක් සම්බන්ධයෙන් විමර්ශන කර තිබේ.
එම දේපොළ දෙකෙහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 500 බැගින් වන අතර, සමස්ත දළ වටිනාකම රුපියල් කෝටි 10කට අධික වේ.
විමර්ශනවලට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධි ලෙස උපයාගත් මුදලින් මෙම දේපොළ මිලදී ගෙන ඇති බවට සැලකෙන බැවින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව 2026 සැප්තැම්බර් 10 වැනිදා සිට දින 14ක කාලයක් සඳහා ඒවා ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන ඇත.