anojan-sivarasa-who-insulted-the-prophet-on-facebook-while-going-to-work-in-saudi-arabia-should-be-saved-from-death

සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව සිටින අනෝජන් සිවරාස නමැති ශ්‍රී ලාංකික තරුණයා මුදාගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා සහ පෙත්සම්වලට අත්සන් තැබීමේ වැඩසටහන් ආරම්භ වී තිබේ. මෙහිදී හැටන් නගරයේ මල්ලියප්පු හන්දිය කේන්ද්‍ර කරගනිමින් මහජන විරෝධතාවක් පැවැත්වුණු අතර, ඔහුගේ උපන්ගම වන අම්පාර නට්පිඩිමුනෙයි ප්‍රදේශයේදී ජනතා අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.




අදාළ තරුණයා නිදහස් කරගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික පියවර වහාම ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින මෙම පෙත්සම විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත බාරදීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී සමාජ මාධ්‍ය හරහා ඉස්ලාම් ආගමට සහ මුහම්මද් නබිතුමාට අපහාස වන අයුරින් අදහස් පළකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ආගමික කණ්ඩායම් අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති සංවාදයකදී මෙම ප්‍රකාශය සිදුව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සනාථ කරයි.

මෙම සිද්ධියට අදාළව නඩු විභාගයෙන් අනතුරුව ඉකුත් ජූලි 15 වනදා සෞදි අධිකරණය විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කරන ලදී. පසුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහය ඇතිව අදාළ දඬුවම ලිහිල් කරගැනීම සඳහා නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කළද, එහි ප්‍රතිඵලයක් ලෙස දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බව පසුව පවුලේ අයට දැනගන්නට ලැබී ඇත.




මේ අතර, අදාළ තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් රැසක් රජයෙන් ඉල්ලීම් කර තිබේ. මෙම සංවේදී විදේශීය නෛතික තත්ත්වය හමුවේ තරුණයා නිදහස් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පියවර මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රජය පාර්ශවයෙන් නිවේදනය කර ඇත.