තම පෙම්වතා සමඟ සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටියදී අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියක්, වන අලින් ඇතුළු වනසතුන්ගෙන් ගහන තඹාල මහ වනය මැද රැයක් පහන් කිරීමෙන් අනතුරුව දින දෙකකට ආසන්න කාලයකට පසු සූදානමින් සිටි පොලිස් මෙහෙයුමකින් සොයාගැනීමට පුලස්තිගම පොලිසිය සමත් වී තිබේ. මෙලෙස අතුරුදහන්ව සිට පසුව සොයාගනු ලැබුවේ වැලිකන්ද, මොණරතැන්න, අංක 15 ඩී ලිපිනයේ පදිංචිව සිටින ඩී.
ඩබ්ලිව්. සංජනා හංසනි නමැති තරුණියයි.මෙම යුවළ පසුගිය දෙවැනිදා දහවල් 11:00 ට පමණ යතුරුපැදියකින් සෝමාවතිය පුදබිම වෙත ගොස් ඇති අතර, නැවත පැමිණෙන අතරතුර සුංගාවිල සෝමාවතී මාර්ගයේ 29 කණුව ආසන්නයේ යතුරුපැදිය නවත්වා කැලෑබද ප්‍රදේශයට ගොස් තිබේ. මාර්ගයේ ගමන් කළ පුද්ගලයකුට මඟ අසල නවත්වා තිබූ මෙම යතුරුපැදිය පිළිබඳව සැක සිතී ඒ බව පුලස්තිපුර පොලිසිය වෙත දැනුම් දී ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ දිවා ජංගම සංචාරක පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ හිමිකරුගේ තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරීන් "රෝෂාන් අපි පොලිසියෙන්, එළියට එන්න" යනුවෙන් කෑගසා ඇති අතර, පසුව පෙම්වතා පොලිසිය හමුවට පැමිණ ඇත. තමාට ඇති වූ බඩේ අමාරුවක් හේතුවෙන් කැලයට ඇතුළු වූ බව පෙම්වතා පවසා තිබුණ ද, පොලිසිය පැමිණ ඇති බව දැනගත් තරුණිය බියට පත්ව පොලිසියට හසු නොවී වෙනත් මාර්ගයකින් කැලය තුළට තව තවත් ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි විය. බියපත් ස්වරූපයෙන් පිළිතුරු දුන් පෙම්වතාව පොලිසිය විසින් වහා අත්අඩංගුවට ගනු ලැබීය.
අතුරුදහන් වූ තරුණිය සෙවීම සඳහා පුලස්තිපුර, වැලිකන්ද, හිඟුරක්ගොඩ සහ මීගස්වැව යන පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව දින දෙකකට ආසන්න කාලයක් පුරා දැවැන්ත සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. වන අලින්, කොටි සහ වගවලසුන් ගැවසෙන තඹාල මහ වනය මැද ගසක් යට මුළු රැයක් පහන් කළ බවත්, එම අවස්ථාවේ වනඅලීන් කිහිපදෙනෙකුම තමා අසලින් ගමන් කළ බවත් පසුව සොයාගැනුණු තරුණිය පොලිසිය හමුවේ පවසා ඇත.
දින දෙකක මෙහෙයුමකින් අනතුරුව ඊයේ (3) පස්වරු 4:00 ට පමණ වනගහනය මැදදී තරුණිය සොයාගැනීමට පොලිස් කණ්ඩායම්වලට හැකි වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෙම්වතා සහ තරුණිය යන දෙදෙනාම දැනට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.