a-prominent-businessman-from-panadura-was-kidnapped-and-left-in-a-grave

පානදුර ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ අභිරහස් ලෙස පැහැරගැනීමට ලක්වූ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමාගොස් සිටියදී සොයාගෙන තිබේ. මැර ප්‍රහාරයකට ලක්ව සිටි එම ව්‍යාපාරිකයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.




මෙම අපරාධය පානදුර, වලාන, මහනාම මාවත ප්‍රදේශයේදී සිදුව ඇත. අදාළ ව්‍යාපාරිකයා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග රාත්‍රී 10.00ට පමණ මෝටර් රථයෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීමට මුහුණ දී තිබේ. ඔවුහු නිවස ආසන්නයට පැමිණෙමින් සිටියදී වෙනත් මෝටර් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් මොවුන් පසුපස ලුහුබැඳ ඇත. එහිදී සිය ආරක්ෂාව පතා ව්‍යාපාරිකයා වාහනය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී මෝටර් රථය පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගය අසල වූ කාණුවකට පෙරළී තිබේ.

අනතුරුව එහි පැමිණි නාඳුනන මැර කණ්ඩායම ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයේ වීදුරු කඩා බිඳ දමා ඔහු ඉන් පිටතට ඇද ගෙන දැඩි ලෙස පහර දී ඇත. ඉන් පසුව බලහත්කාරයෙන් ඔහු ඔවුන් පැමිණි රථයට නංවාගෙන පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති වුවද, ඔහුගේ බිරිඳ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රහාරය හේතුවෙන් ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.




මූලික පොලිස් විමර්ශන මගින් මේ වන විටත් කරුණු අනාවරණය කරගෙන ඇත්තේ මෙම පැහැරගැනීම අදාළ ව්‍යාපාරිකයාගේම ඥාති පුද්ගලයෙකු විසින් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පානදුර දකුණ පොලීසිය සහ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්ව මේ වන විට පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9