
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ අභාවය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ. කොළඹ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඊයේ දින මෙම මරණ පරීක්ෂණය සිදුකළ අතර, වැඩිදුර විමර්ශන සහ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට එහිදී නියෝග කෙරිණි.
61 හැවිරිදි වියේ පසුවූ හිටපු නගරාධිපතිවරයා ඉකුත් 02 වනදා පෙරවරුවේ මියගොස් සිටියේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අටවැනි මහලේ නිවසක් තුළදීය. මූලික පොලිස් පරීක්ෂණවලට අනුව ඔහු කාමරයක් ආසන්නයේ වූ දොරක ටයි පටියක් ආධාරයෙන් ගෙල වැලලාගෙන සිටින්නට ඇති බවට අනුමාන කෙරේ.
මෙම නිවසේ පදිංචිව සිටි අනෙක් පුද්ගලයා ඊට පෙරදින හම්බන්තොට ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබූ අතර, පසුදින උදෑසන ඔහු එරාජ් ප්‍රනාන්දු මහතා ඇමතීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇත. ඒ අනුව, නිවස පිරිසිදු කරන කාන්තාවකට එහි ගොස් සොයා බලන ලෙස ඔහු දැනුම් දී ඇති අතර, එහිදී අදාළ කාන්තාව විසින් හිටපු නගරාධිපතිවරයාගේ සිරුර සොයාගෙන තිබේ.
එරාජ් ප්‍රනාන්දු මහතා සිය නිවසේ අඩි 9 ක් පමණ වූ දොරක රබර් පටියකින් ගෙලවැලලා ගෙන මියගොස් සිටි බව පොලිසිය පවසයි. මියයන විට එරාජ් ප්‍රනාන්දු මහතා මහල් නිවාසයේ තනිවම ජීවත්වී ඇති අතර, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා කැනඩාවේ පදිංචිව සිට ඇත.