
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට බලපෑ නිශ්චිත හේතු පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත. එම කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විමර්ශනවලට අදාළව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු අදාළ නිවේදනය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබේ.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රුපියල් 7,973,114.50 ක පාඩුවක් සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් සැලසීමේ දූෂණ චෝදනාව මත හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ලබානොගෙන, ඩීසයින් පොයින්ට් පුද්. සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇත. මෙම සිදුවීමට අදාළව ආධාර අනුබල දීමේ චෝදනා මත ඩීසයින් පොයින්ට් පුද්. සමාගමේ හිමිකරු වන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයද කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2026 සැප්තැම්බර් 04 වන දින පෙ.ව. 9.25 ට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙ.ව. 9.30 ට අදාළ සමාගම් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.