recognizes-that-not-taking-medication-on-time-directly-affects-patient-health

ඖෂධ ලබාගන්නා වේලාව රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ප්‍රතිකාරවල සාර්ථකත්වයට සෘජුවම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ. විශේෂයෙන්ම ඇතැම් ප්‍රතිජීවක ඖෂධ ආහාර ගැනීමට පෙර ලබාගත යුතු අතර, කොලෙස්ටරෝල් පාලනය සඳහා ලබාදෙන ඖෂධ රාත්‍රී කාලයේදී ලබාගත යුතු වන්නේ අක්මාව මගින් කොලෙස්ටරෝල් නිපදවීම නින්දේදී සිදුවන බැවිනි.

ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව හෙවත් 'සර්කේඩියන් රිදම්' (circadian rhythm) ක්‍රියාවලියට අනුකූලව ප්‍රතිකාර ලබාදීම මගින් අතුරු ආබාධ අවම කරගනිමින් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. පිළිකා ප්‍රතිකාර සහ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේදී ද මෙම කාලවේලාවන් අතිශයින් වැදගත් වේ.




පසුගිය වසරේ 'Nature Medicine' සඟරාවේ පළවූ අධ්‍යයනයකට අනුව, පෙරවරු 11.30 ට පෙර ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර (immunotherapy) ලබාගත් දියුණු තත්ත්වයේ පෙනහළු පිළිකා රෝගීන් මාස 33ක පමණ සාමාන්‍ය ආයු කාලයක් වාර්තා කළ අතර, පසුව ප්‍රතිකාර ලැබූවන්ගේ ආයු කාලය මාස 20කට පමණ සීමා විය. බ්‍රිතාන්‍ය පිළිකා සඟරාවේ පර්යේෂණයකින් ද මෙම තත්ත්වය සනාථ කර ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසල් ෆොස්ටර් පවසන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රධාන කොටස් දවසේ මුල් භාගයේදී ඉතා ක්‍රියාකාරී වන බැවින් උදෑසන කාලයේදී ප්‍රතිකාර ලබාදීම වඩාත් ඵලදායී වන බවයි. එසේම වසා ගැටිති ආශ්‍රිත පිළිකා ඇති කාන්තාවන්ට රසායනික ප්‍රතිකාර (chemotherapy) ලබාදීම පස්වරුවේ සිදුකිරීම වඩාත් සුදුසු වන්නේ කාන්තාවන්ගේ සුදු රුධිරාණු නිෂ්පාදනය උදෑසන කාලයේදී ඉහළ අගයක් ගන්නා බැවිනි. පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා පස්වරුවේ විකිරණ ප්‍රතිකාර (radiotherapy) ලබාගන්නා රෝගීන්ට උදෑසන ප්‍රතිකාර ලබාගන්නා අයට වඩා වැඩි අතුරු ආබාධ ඇතිවන බව අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත. පිළිකා සෛල ඇතුළු සෛලවල ඩීඑන්ඒ (DNA) අළුත්වැඩියා කිරීම වළක්වන CRY1 නම් ප්‍රෝටීනය උදෑසන කාලයේදී අඩු මට්ටමක පවතින බැවින් පිළිකා සෛලවලට පහසුවෙන් තම ඩීඑන්ඒ අළුත්වැඩියා කරගත හැකි වුවද, පස්වරුවේදී සහ රාත්‍රියේදී එම ප්‍රෝටීන මට්ටම ඉහළ යාම හේතුවෙන් අළුත්වැඩියා ක්‍රියාවලිය අඩාල වේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ රෝහලකින් ලබාගත් දත්ත වලට අනුව පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔවුන්ගේ ආයු කාලය වැඩි වී ඇති බවද නිරීක්ෂණය කර තිබේ. අධිරුධිර පීඩනය සඳහා ඖෂධ ලබාගැනීමේදී බොහෝ දෙනා උදෑසන කාලය තෝරාගත්තද, එය නින්දට පෙර ලබාගැනීමෙන් හෘදයාබාධ සහ අංශභාගය වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි හැකියාවක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති. උදෑසන 6ත් දහවල් 12ත් අතර කාලය තුළ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය සහ ඇඩ්‍රිනලින් මට්ටම ඉහළ යන බැවින් රුධිරය කැටි ගැසීමේ අවදානම වැඩි වන අතර, අංශභාගය හෝ හෘදයාබාධයක් වැළඳීමේ අවදානම එම කාලය තුළ සියයට 50කින් පමණ ඉහළ යයි. 'Scientific Reports' සඟරාවේ පළවූ සායනික පරීක්ෂණ අටක විශ්ලේෂණයකට අනුව, රාත්‍රී නින්දට පෙර ඖෂධ ලබාගත් රෝගීන්ගේ උදෑසන රුධිර පීඩනය ඉහළ යාම සැලකිය යුතු ලෙස අඩුවී ඇත. නමුත් 2022 වසරේ බ්‍රිතාන්‍ය හෘද පදනම සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඖෂධ උදෑසන හෝ රාත්‍රී කුමන වේලාවක ලබාගත්තද එහි ප්‍රතිඵලයේ වෙනසක් නොමැති බවයි.




එන්නත් ලබාදීමේදී ද කාලය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත. 'Frontiers in Public Health' සඟරාවට අනුව වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට උදෑසන කාලයේදී එන්නත් ලබාදීමෙන් ඔවුන්ගේ ප්‍රතිදේහ වර්ධනය වීම වේගවත් වී තිබේ. තවද, 2023 වසරේදී වොෂින්ටන් විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකට අනුව, කොවිඩ් සඳහා ලබාදෙන mRNA එන්නත් උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය තුළ ලබාදීම වඩාත් ඵලදායී වන අතර, පස්වරු 4 සිට 7 දක්වා කාලය තුළ ලබාදීමෙන් අවම ප්‍රතිඵල ලැබෙන බව තහවුරු වී තිබේ. (Daily Mail ඇසුරිනි)