businessman-kidnapped-for-non-payment-of-loan

මුදල් ආරවුලක් පදනම් කරගනිමින් බේරුවල ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතන හිමිකරුවකු පැහැරගෙන ගොස් ඔහුගේ රන් භාණ්ඩ, මුදල්, ජංගම දුරකථන සහ යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මග්ගොන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පසුගිය 20 වනදාය.




සිද්ධියට දින කිහිපයකට පෙර කාමරයක් කුලියට ලබාගැනීමේ මුවාවෙන් අදාළ නිවාඩු නිකේතනයට පැමිණ ඇති මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා, ව්‍යාපාරිකයා බියගන්වා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන මග්ගොන පොදු ක්‍රීඩාංගණය ආසන්නයට ගෙනගොස් ඇත.

එහිදී තමන්ගෙන් ලබාගත් ණය මුදලක් ආපසු දෙන ලෙස සැකකරුවන් ඉල්ලා සිටියද, ව්‍යාපාරිකයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහුට තර්ජනය කර අත්පලඳනා, මුදු, ජංගම දුරකථන තුනක්, මුදල් පසුම්බිය සහ බැංකු කාඩ්පත් දෙකක් කොල්ලකා ඇත. පසුව, ව්‍යාපාරිකයා ලවා ඔහුගේ බිරිඳට ඇමතුමක් ලබාදී නිවසේ තිබූ යතුරුපැදියද වෙනත් අයෙකු ලවා ගෙන්වා ගැනීමට සැකකරුවන් කටයුතු කර තිබේ.




ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් බේරුවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර, සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් මගහැර සිටි සැකකරුවන් කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සොරකම් කරන ලද රන් භාණ්ඩ, ජංගම දුරකථන, මුදල් පසුම්බිය, බැංකු කාඩ්පත් සහ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.