එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රාෂිඩ් අල් මක්තුම්ගේ බාල සොහොයුරා වන ෂෙයික් අහමඩ් බින් රාෂිඩ් අල් මක්තුම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 76 වැනි වියෙහි පසුවූ ඒ මහතාගේ අභාවයෙන් පසුව ඩුබායි රජය විසින් දින 10 ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඩුබායි පොලිසියේ සහ මහජන ආරක්ෂක අංශයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සඳුදා උදෑසන කාලයේදී අවසන් හුස්ම හෙළා ඇති අතර, ඔහුගේ මරණයට හේතුව පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.මේ පිළිබඳව සටහනක් තබමින් ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රාෂිඩ් මහතා 'X' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඩුබායි රාජ්‍යයට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවයි. ඩුබායි පාලකයින්ගේ ප්‍රබල සහායකයෙකු වූ ෂෙයික් අහමඩ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම සන්නද්ධ බලකායන් පිහිටුවීම සඳහා අතිමහත් කාර්යභාරයක් ඉටුකළ බවද හෙතෙම සඳහන් කළේය. ඩුබායි වැසියන්ගේ දැඩි ආදරයට ලක්වූ ඒ මහතාද ජනතාවට බොහෝ සෙයින් ආදරය කළ නායකයෙකු බැවින්, ඔහුව හඳුනන සියලු දෙනාගේ හදවත් තුළ ඔහුගේ මතකය සදාකාලිකවම රැඳී පවතිනු ඇති බවද ඩුබායි පාලකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
තම සොහොයුරාගේ අභාවය වෙනුවෙන් දැඩි කනගාටුව පළකළ ෂෙයික් මොහොමඩ්, ෂෙයික් අහමඩ් මහතා නෙතඟින් වෙන්ව ගියද ජනතාවගේ හදවත් සහ ප්‍රාර්ථනා අතර සදා නොමැකී පවතින බව ප්‍රකාශ කර ඇත. අල්ලාහ් දෙවියන්ගේ කරුණාව සහ ස්වර්ගයේ උසස්ම ස්ථානය ඒ මහතාට හිමිවේවායි ප්‍රාර්ථනා කළ හෙතෙම, මෙම දැඩි ශෝකය දරාගැනීමට රාජකීය පවුලේ සාමාජිකයින්ට සහ හිතවතුන්ට ශක්තිය ලැබේවායිද අයැද සිටියේය. ඩුබායි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු මෙන්ම රාජ්‍ය ආරක්ෂක අංශවල ඉහළ වගකීම් දැරූ ප්‍රමුඛ පෙළේ නායකයෙකුගේ අභාවය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජකීය පවුල සහ සමස්ත පාලන තන්ත්‍රයම දැඩි ශෝකජනක වාතාවරණයකට පත්ව තිබේ.
