
හොරණ ඇල්ලකන්ද සුන්දර පියස නැරඹීමට පැමිණෙන පෙම්වතුන් සහ තරුණයන් බිය ගන්වා මුදල් හා ජංගම දුරකතන කොල්ලකෑ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි කණ්ඩායමක් හොරණ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝවින්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කාන්තාවක සහ තරුණයන් දෙදෙනෙකි.
පසුගිය 10 වනදා ඇල්ලකන්ද පරිශ්‍රයට පැමිණි මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු පරීක්ෂා කර ඇති මෙම සැකකරුවන්, තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් සතු වූ මුදල්, පසුම්බි සහ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් භාරයට ගෙන ඇත. අදාළ භාණ්ඩ පහළින් පිහිටි වෙළඳසැලකින් නැවත ලබාගත හැකි බව පවසා සැකකරුවන් පිටව ගොස් තිබුණද, එම ස්ථානයේ භාණ්ඩ නොතිබීම නිසා වින්දිත තරුණයන් හොරණ පොලිසියට පැමිණිලි කර ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතරතුර, පසුගිය 13 වනදා සවස දොඹගොඩ ප්‍රදේශයේ තරුණියක සහ කෑගල්ලේ තරුණයකු ඇල්ලකන්දේ රැඳී සිටියදී නැවතත් මෙම කණ්ඩායම පොලිස් වෙස් ගෙන ඔවුන්ගේ මුදල් සහ දුරකතන පැහැරගෙන තිබේ. එහිදී සැකකරුවන් අදාළ තරුණියට දිගින් දිගටම පහර දීම හේතුවෙන් ඇගේ පෙම්වතා ඊට එරෙහි වී සැකකරුවන්ට පහර දී ඇති අතර, ඉන්පසු සැකකරුවන් තරුණිය ප්‍රාණ ඇපයට තබාගෙන ඇත.
පෙම්වතා 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගැනීමට උත්සාහ කිරීමත් සමග දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් ප්‍රධාන සැකකරුගේ දකුණු අතට තුවාල සිදු වී ඇති අතර, පෙම් යුවළටද තුවාල සිදු වී තිබේ. මෙම පොරබැදීමේදී තරුණයා පැලඳ සිටි ඇස් කණ්ණාඩියටද හානි සිදු විය.
පොලිස් සැරයන් ජනක (14934) මහතාට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ආරක්ෂිත කැමරා දර්ශන සහ සැකකරුවන්ගේ බාහිර රූප සටහන් ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇත. එහිදී ඔවුන් ගෝවින්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට අනාවරණය වීමෙන් පසු එකී නිවස වටලා මොවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් පිරිස දිහේනගම පුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක සහ 27 හා 28 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. මොවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන් බවත්, මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙවැනි ස්ථානවලට පැමිණෙන පෙම්වතුන් බිය නිසා පොලිසියට පැමිණිලි නොකිරීමට ඉඩ ඇති බැවින්, මෙම සැකකරුවන් මීට පෙරද මෙවැනි අපරාධවලට සම්බන්ධ වී ඇත්දැයි පරීක්ෂා කිරීමට හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමුකිරීමට නියමිතය.
