අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැතිව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව ලබාදීමෙන් රජයට පාඩු කළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්දු ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
2006 සැප්තැම්බර් 01 වනදා සිට 2007 ජූනි 08 වනදා දක්වා වූ කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, නිසි සුදුසුකම් නොමැති යෝෂිත රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ "රාජකීය නාවික නිලධාරී පාඨමාලාව" හැදෑරීමට අයුතු ලෙස අවස්ථාව සලසා දී රජයට රුපියල් 62,84,217ක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කර ඇත. මීට අමතරව, එකී පාඨමාලාවට සහභාගී වී අයුතු ලාභයක් ලැබූ බවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිවද වෙනම චෝදනා ගොනුකර තිබේ.
අල්ලස් පනත ප්‍රකාරව දූෂණය නමැති වරද යටතේ චෝදනා 08ක් පදනම් කරගනිමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත. නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එළඹෙන ඔක්තෝබර් 13 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
