ලක්විජය ගල්අඟුරු බලාගාරයට හදිසි ගල්අඟුරු තොගයක් රැගෙන ආ නෞකාව දින අටක් ප්‍රමාද වීම හේතුවෙන් මෙගාවොට් පැය 32,350 ක පමණ අඩු පිරිවැය විදුලි බලයක් ජනනය කිරීමට තිබූ අවස්ථාව පාරිභෝගිකයන්ට අහිමි වී තිබේ. මෙම ප්‍රමාදය සිදුවන අවස්ථාව වන විට බලාගාරයේ පැවැති අතිරේක (buffer stock) ගල්අඟුරු තොග ද සම්පූර්ණයෙන්ම අවසන් වී තිබීම නිසා බලාගාරය දැඩි ගල්අඟුරු හිඟයකට මුහුණ දී ඇත.
ඉන්දියාවේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar) සමාගමෙන් සිදුකළ ගල්අඟුරු සැපයුමේ ඇති වූ අඩුපාඩු පියවා ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම (LCC) විසින් ඉන්දියාවේ ‘තරන්ජොට් රිසෝසස්’ (Taranjot Resources) සමාගමෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග පහක් හදිසි ටෙන්ඩරයක් යටතේ ඇණවුම් කර තිබුණි. කෙසේ වෙතත්, එහි පස්වැනි හදිසි නැව් තොගය නියමිත ප්‍රමිතියෙන් තොර වීම නිසා නැවත හරවා යැවීමට සිදුවූ අතර, ඊට හිලව් ලෙස ලබාදුන් නව නැව් තොගය 2026 අගෝස්තු 27 වනදා පැමිණීමට නියමිතව තිබුණද එය දිවයිනට ළඟා වී ඇත්තේ සැප්තැම්බර් 04 වනදාය.
පාර්ලිමේන්තුවේ ප්‍රවාහන හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශයන්ට අදාළ කාරක සභාව (SOC) හමුවේ අනාවරණය වූ පරිදි, මෙම ප්‍රමාදය හේතුවෙන් අහිමි වූ විදුලි ප්‍රමාණය මෙගාවොට් 900 ක ධාරිතාවයෙන් යුත් මුළු බලාගාරයම එක දිගට පැය 36 ක් ක්‍රියාත්මක කිරීමට හෝ මෙගාවොට් 300 ක එක් ජනන යන්ත්‍රයක් දින හතරහමාරක් පුරා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සමාන වේ. අතිරේක ගල්අඟුරු තොග නොමැති වීම නිසා ඉදිරියේදීත් යම් සැපයුම් ප්‍රමාදයක් සිදු වුවහොත් බලාගාරයේ කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව බලාගාර නිලධාරීන් පෙන්වා දී ඇත. මෙට්‍රික් ටොන් 100,000 ක අතිරේක තොගයක් පවත්වාගෙන යාම සාමාන්‍ය සිරිත වුවද, මෙවර අවශ්‍ය වූ මෙට්‍රික් ටොන් මිලියන 2.16 න් ලැබී ඇත්තේ මෙට්‍රික් ටොන් මිලියන 1.996 ක් පමණි.
මෙයට පෙර පැවැති 2025-2026 ගිවිසුම යටතේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ සමාගමෙන් ඇණවුම් කළ නැව් 25 න් පැමිණ ඇත්තේ නැව් 19 ක් පමණක් වන අතර, ඒවා සියල්ලම ප්‍රමාද වී පැමිණියා මෙන්ම නියමිත ප්‍රමිතියෙන්ද තොර විය. මෙසේ බාල මට්ටමේ ගල්අඟුරු භාවිත කිරීම නිසා මෙරට විදුලි උත්පාදන ලංකා සමාගමට (EGL) මාර්තු 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ රුපියල් බිලියන 5.68 ක සෘජු මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ගණන් බලා තිබේ.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා උපදෙස් දී ඇත්තේ, මෙගාවොට් පැය අහිමි වීම නිසා සිදු වූ පාඩුව සහ ප්‍රමාද ගාස්තු අදාළ සැපයුම්කරුගෙන් අය කරගත යුතු බවත්, ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශය වහා මැදිහත් විය යුතු බවත්ය. මේ අතර, ‘ආදිත්‍යා බිර්ලා’ (Aditya Birla) සමාගම විසින් දිනාගත් නව වාරයේ පළමු ගල්අඟුරු නැව් තොගය සැප්තැම්බර් 16 වනදා නියමිත පරිදි දිවයිනට ළඟා වී තිබේ.
