හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාට ජනාධිපති කාර්යාලයෙන් ගෙවන ලද වැටුප් මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සොහොයුරියගේ පුතෙකුගේ බැංකු ගිණුමකට බව මධ්‍යම විමර්ශන කාර්යාංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22 කට අධික රජයේ මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඒ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, සැකකරු ලබන 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ සැකකාර සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ගිණුමට අවස්ථා හතරකදී රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බවයි. මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ අධ්‍යක්ෂවරුන් 22 දෙනෙකු ඇතුළුව 135 දෙනෙකු පමණ සේවය කර ඇති අතර, එහි එකම කාර්යය වී ඇත්තේ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම පමණක් බව විමර්ශනවලදී තහවුරු වී ඇත. එම කටයුතු වෙනුවෙන් ඔහු රුපියල් කෝටි 22කට අධික මුදලක් ලබාගෙන ඇති අතර, සිද්ධියට අදාළව පුද්ගලයින් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තවත් ප්‍රකාශ 50කට අධික ප්‍රමාණයක් සටහන් කරගැනීමට නියමිත බවද පොලීසිය පැවසීය.
මෙම වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙන්ම අදාළ බැංකු ගිණුම් හිමි බෑණනුවන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ. එහිදී ගිණුම් හිමියා ලබාදුන් පළමු ප්‍රකාශයෙන් මුදලින් කොටසක් තමන්ට ලැබුණු බව පැවසුවද, දෙවැනි ප්‍රකාශයේදී කිසිදු මුදලක් නොලැබුණු බව සඳහන් කර ඇති බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය. හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද සහ මෙම සිදුවීමට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවද මධ්‍යම විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, සිය සේවාදායකයා වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට චෝදනා කරමින් මෙම විමර්ශන ආරම්භ කළද, ඔහු කිසිවිටෙකත් වැටුප් දෙකක් ලබාගෙන නොමැති බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශවලින්ද තහවුරු වන බවයි. එමෙන්ම අදාළ මුදල් සැකකරුගේ ගිණුමට බැරවී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද නීතිඥවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
