තායිලන්තයේ බැංකොක් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර, නගරවාසීන් මේ වන විට එහි සුන්බුන් සහ මඩ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වී සිටිති. සැප්තැම්බර් මැද භාගයේ සිට බලපෑ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සමස්ත තායිලන්තය පුරා පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ආපදා නිවාරණ සහ අවම කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව, පුද්ගලයින් 700,000 කට පමණ මෙම ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර, සෙනසුරාදා දින බලධාරීන් විසින් බැංකොක් නගරය පුරා ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. තායිලන්තයේ පළාත් 77 න් 29 කට දැඩි වර්ෂාපතනයෙන් මෙලෙස දැඩි බලපෑම් එල්ල වී ඇත. අගනුවර සමහර ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී පවතින අතර, පාසල් දෙවන දිනටත් වසා දමා ඇත. මේ හේතුවෙන් බොහෝ පිරිසක් තවමත් නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරත වෙති. බැංකොක් නගරයේ ඇළ මාර්ග අවට පිහිටි නිවාස බොහොමයක් ජලයෙන් යට වී ඇති අතර, නගරය පුරා පිහිටි නවාතැන් මධ්‍යස්ථාන 230 කට වැඩි ප්‍රමාණයක දහස් ගණනක් ජනතාව රැඳී සිටිති.
සඳුදා සවස සිට ගංවතුර බැස යාම ආරම්භ වී ඇති නමුත්, ජලය සම්පූර්ණයෙන්ම බැස යාමට සතියක් පමණ ගතවනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා ඇති අතර ජලය ඉවත් කිරීමේ පොම්පාගාර මේ වන විට සිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වේ.
කිසිදු පෙර දැනුම් දීමකින් තොරව රාත්‍රී කාලයේදී ගංවතුර ගැලීම හේතුවෙන් තම දේපළ රැසකට හානි වූ බව බෑන්ග් කපි (Bang Kapi) දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ පවසති. ගංවතුර තත්ත්වය හේතුවෙන් බැංකොක් ගුවන් තොටුපළවල් හරහා ගමන් ගන්නා මගීන්ට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. සුවර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ ගමන් මලු ලබාගැනීමේ ප්‍රමාදවීම් රැසක් මෙන්ම මගීන්ට භාර නොදුන් ගමන් මලු විශාල ප්‍රමාණයක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ ගොඩගැසී ඇති බව වාර්තා වේ. මෙම අයහපත් කාලගුණික තත්ත්වය අසල්වැසි මියන්මාරයට ද බලපා ඇති අතර ඉන් එරට පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ තීව්‍රතාවය සහ වාර ගණන අනාගතයේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවයි.

