aravinda-loses-20-million-rupees-after-bailing-out-his-wifes-sister

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනවල සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.




මෙම සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ ඇපකරුවන් ලෙස පෙනී සිටියේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි වීරනායක යන මහත්ම මහත්මීන් වන අතර, සැකකාරිය අධිකරණය මඟහරිමින් සිටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ඇප රාජසන්තක කිරීමේ නියෝගය ලබා දී තිබේ.

අදාළ සිද්ධියට අදාළව සැකකාරිය අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් මේ වන විට ඇයට එරෙහිව වරෙන්තු ද නිකුත් කර ඇති අතර, ඇපකරුවන් වූ අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියහ.




මීට පෙර අදාළ නඩුවට අදාළව සැකකාරිය ඇප මත මුදා හැර තිබුණේ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඒ අනුව අදාළ සම්පූර්ණ මුදල රාජසන්තක වන අතර, ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ ඉන් රුපියල් මිලියන 20ක මුදලක් අද දිනයේදීම අධිකරණයට ගෙවන බවයි.



එහිදී ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එකී රුපියල් මිලියන 20ක මුදල අද දිනයේම අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළේය.

එසේම, රාජසන්තක කළ යුතු ඉතිරි රුපියල් මිලියන 20ක මුදල ලබන ඔක්තෝබර් මස 17 වැනිදා ගෙවා අවසන් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් ඇපකරුවන්ට තවදුරටත් නියෝග කර ඇත.