cid-questions-sdig-ranmal-over-seizure-of-ice-container-worth-rs-800-crore-at-port

කොළඹ වරායේ කන්ටේනරයක සඟවා තිබියදී රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් රහස් පොලිසිය විසින් ඊයේ (29) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.




පසුගිය මස 31 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ කන්ටේනරය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 361ක තොගයක් මුලින්ම සොයාගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සොයාගත් එම තොගය සහ සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත පාකිස්තානු ජාතිකයින් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස්පතිවරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් පවත්වන අතර, ඔවුන් කළ දැනුම්දීමකට අනුව රන්මල් කොඩිතුවක්කු මහතා මෙලෙස රහස් පොලිසිය හමුවේ පෙනී සිටිමින් සිය ප්‍රකාශය ලබා දී තිබේ. ඊට අමතරව, මෙම විමර්ශන කටයුතුවලට සමගාමීව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් හයදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා වේ.




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය කාලසීමාව තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණය සහ උපදෙස් මත සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබුණි. එම මෙහෙයුම් හරහා දිවයිනට ගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග රැසක් අත්අඩංගුවට ගැනීමටත්, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් නීතියේ රැහැනට කොටුකර ගැනීමටත් එම කාර්යාංශයට හැකියාව ලැබී තිබූ බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.