මීට වසර 18කට පෙර ත්‍රිකුණාමලයේදී කාන්තාවන් දෙදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ විශ්‍රාමික නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල කෑම් විමර්ශන අංශය විසින් පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත, අලුත්වත්තේ පදිංචි 42 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සුළු නිලධාරිනියක සහ හපුතලේ, දුම්රියපොළ පාරේ පදිංචිව සිටි අනෙක් නාවික හමුදා විශ්‍රාමික සුළු නිලධාරිනියයි.
2008 වසරේ ජනවාරි 13 වැනිදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටි මේරි ඩිලීසියා සහ සසිකුමාර් තේන්මෝලි යන කාන්තාවන් දෙදෙනා මෙසේ පැහැරගැනීමට ලක්ව තිබේ. අනතුරුව ඔවුන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි 'සංසයිට්' නමැති භූගත රඳවා තැබීමේ සිරමැදිරියක සිරකර තබමින් කෲර ලෙස වද හිංසාවලට හා ලිංගික අතවරවලට ලක්කර ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලීසියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරිනියන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සක්‍රීයව සිදු කෙරෙන අතර, එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් සිටියි.
