ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ අරමුණ ඉටුවන තෙක් ශ්‍රී ලාංකික හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට ලෝක මට්ටමේ හෙල්ල සෑම වසරකම පාහේ ලබාදීමට අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රතිඥා දී තිබේ.
තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ, රුමේෂ් තරංගගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත රජය විසින් දැනටමත් ලබාදී ඇති හෙල්ලයට අමතරව මෙම අවශ්‍ය උපකරණ ලබාදීමට ඔහු පොරොන්දු වී ඇත.
මෙම උපකාරය වෙනුවෙන් තමා හෝ තම අරලිය ව්‍යාපාර සමූහය කිසිදු අනුග්‍රාහක ප්‍රචාරණයක් හෝ වෙනත් කිසිදු වෙළඳමය වාසියක් බලාපොරොත්තු නොවන බව ද සිරිසේන මහතා අවධාරණය කරයි.
රුමේෂ් තරංග යනු මෑත කාලයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් මතුවූ දීප්තිමත්ම තරුවක් ලෙස හැඳින්වූ ඒ මහතා, දක්ෂ ක්‍රීඩකයන් පෝෂණය කිරීමට සහ ජාත්‍යන්තර තලයේ ඔවුන්ගේ වර්ධනයට සහාය වීම දේශීය ව්‍යාපාරිකයන්ගේ වගකීමක් බව පෙන්වා දෙයි.
ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමේ රුමේෂ්ගේ සිහිනය සැබෑ වන තෙක් තම කැපවීම එකලෙසම පවතින බව පවසන සිරිසේන මහතා, එම ඔලිම්පික් සිහිනය ජයගන්නා තෙක් ජාතියක් ලෙස රුමේෂ් පිටුපස සිටිමින් ඔහුට පූර්ණ සහයෝගය ලබා දීම සැමගේ වගකීමක් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
