ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමට අදාළ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බව අධිකරණය හමුවේ තීන්දු විය.මෙම ඇප ඉල්ලීමට අදාළව විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදාත්, පැමිණිල්ලේ ලිඛිත දේශන ලබන 25 වනදාත් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියම කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම තීරණය ලබා දෙන ලදී.
නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම චෝදනාවට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන ක්‍රියාත්මක වන බැවින් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන බවයි. 2012 වසර දක්වා දිවෙන මෙම විමර්ශනයේ පළමු සැකකරු වූ කපිල චන්ද්‍රසේන මහතා මේ වන විට මියගොස් ඇති අතර, දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඕස්ට්‍රේලියාවටත්, තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවටත් පලාගොස් ඇති බව හෙළි විය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ලබාගැනීමට කටයුතු කරමින් සිටින අතර, ඊට අදාළ විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු යොදමින් පවතින බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.
විමර්ශනවල ප්‍රගතිය දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කතානායක නිල නිවසේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සහ ශමින්ද්‍ර රාජපක්ෂ විදේශගත වීම සම්බන්ධයෙන් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් මෙන්ම සුසන්ත චමින්ද රත්නායක සහ දිමුතු සංජය යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවයි. එසේම දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින්, සැකකරුට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂී කරුණු මත පමණක් බවත්, මීට පෙර පෙන්වා දුන් කරුණු සුවිශේෂී නොවන බවට අධිකරණය තීරණය කර ඇති බවත් පැමිණිල්ල අවධාරණය කළේය.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ, එයාර්බස් ගනුදෙනුව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ විමර්ශන වාර්තාවේ සිය සේවාදායකයාගේ නම සඳහන් නොවන බවත්, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නිමල් පෙරේරා නැමැත්තා ලබාදුන් අසත්‍ය ප්‍රකාශ මත බවත්ය. එමෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම නිසා මන්ත්‍රීවරයාට ලැබී තිබූ ඉන්දීය රජයේ නිල ආරාධනා සංචාරය අහිමි වූ බවත්, සැප්තැම්බර් 26 වනදා හිඟුරක්ගොඩ පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැරේදී රාත්‍රී 7.42ට විහාරස්ථානයක කොත තැන්පත් කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ඇති ආරාධනාව ද සැලකිල්ලට ගෙන ඇප ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධාර්මික රජුන් සහ භික්ෂූන් පිළිබඳ අධම්ම සූත්‍රයෙන් කරුණු උපුටා දක්වමින් සඳහන් කළේ, සාක්ෂිකරුවෙකුගේ විශ්වාසනීයත්වය නඩු විභාගයකදී මිස මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි. තවද ඉන්දීය සංචාරය හෝ ආගමික උත්සවයකට සහභාගී වීම ඇප ලබාදීමට තරම් සුවිශේෂී හේතු නොවන බව ප්‍රකාශ කළ ඔහු, "වැලිගම බේ" සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී නිමල් පෙරේරාගේ ගිණුමකට රුපියල් මිලියන 175කට අධික සැකසහිත මුදලක් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් සැකකරුට ඇප ලබාදීමට කිසිදු සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.
