arrangements-will-be-made-to-make-tin-numbers-available-to-everyone-from-november-1st

2026 නොවැම්බර් මස 01 වනදා සිට ඇතැම් නිශ්චිත කටයුතු සඳහා වලංගු බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහජනතාව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන සේවාවන් අටක් සඳහා මෙම රෙගුලාසිය බලපැවැත්වේ.




මේ අනුව, බැංකුවක හෝ මුල්‍ය ආයතනයක අලුතින් ගිණුමක් ආරම්භ කිරීම, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම යන අවස්ථාවලදී TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් පැවරීමේදී සහ ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) ලබාගැනීමේදී ද මෙම TIN අංකය ලබාදීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත. අදාළ සේවාවන් සැපයීමට පෙර ඉදිරිපත් කරනු ලබන TIN අංකය වලංගු එකක් ද යන්න තහවුරු කරගැනීමට අදාළ වගකිවයුතු නිලධාරීන් කටයුතු කළ යුතුය.




මෙතෙක් බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන් වෙතොත්, වහාම එම අංකය ලබාගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ e-සේවා පද්ධතිය වන https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader ඔස්සේ අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකිය.