a-man-came-to-a-shop-under-the-pretext-of-buying-some-betel-leaves-and-stole-a-bag-worth-800000-rupees

මීගහකිවුල නව බස් නැවතුම්පළේ පිහිටි සිල්ලර වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ අටක මුදලක් අඩංගු මල්ලක් සොරාගත් පුද්ගලයෙකු, පසුදින නැවත එම වෙළෙඳසලටම පැමිණි අවස්ථාවේදී හිමිකරු විසින් අල්ලා පොලිසියට භාරදීමේ සිදුවීමක් වාර්තා වේ. බුලත් විටක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ මෙම සොරකම සිදු කර ඇති අතර, සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 07 වැනිදාය.




මෙලෙස මුදල් අලාභහානියට ලක්ව ඇත්තේ මීගහකිවුල, කොලොන්වත්ත, කෙසෙල්වත්ත ලිපිනයේ පදිංචි 74 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකි. ඔහු අදාළ බස් නැවතුම්පළෙහි පහත මහලේ පිහිටි කුලී ගොඩනැඟිල්ලක සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර, දිනපතා වෙළෙඳාමෙන් ලැබෙන මුදල් රෙදි මල්ලක දමා සවස නිවසට ගෙන යාම සහ පසුදා උදෑසන නැවත වෙළෙඳසලට රැගෙන ඒම සිරිතිලකය ලෙස සිදු කර ඇත.

සිද්ධිය වූ දින උදෑසන රුපියල් ලක්ෂ අටක පමණ මුදල සහිත මල්ල වෙළෙඳසලට ගෙනැවිත් බිස්කට් අසුරා තිබූ මේසය මත තබා ඔහු වෙළෙඳාම් කටයුතුවල නිරත වී තිබේ. එදින දහවල් 1.30 ට පමණ කළු පැහැති දිග කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසී සිටි, සුදු කොණ්ඩයක් සහිත වයස අවුරුදු 60 ක පමණ පෙනුමැති පුද්ගලයෙකු බුලත් විටක් ඉල්ලා පැමිණ ඇත. බුලත් විට දුන් පසු ඔහු දුම්කොළ ද ඉල්ලා සිටි බැවින්, මේසය මත තිබූ ෂොපිං මල්ලෙන් දුම්කොළ ගන්නා ලෙස වෙළෙඳසල් හිමියා පවසා තිබේ.




සවස 4.00 ට පමණ වෙළෙඳසල වසා දැමීමට සූදානම් වන විට මේසය මත තිබූ මුදල් මල්ල අතුරුදහන්ව ඇති බව හිමිකරුට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව බුලත් විට මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා කෙරෙහි සැකය යොමු වූ අතර, පසුදින එනම් 07 වැනිදා සවස් කාලයේ එම පුද්ගලයා නැවතත් වෙළෙඳසලට පැමිණි අවස්ථාවේදී ව්‍යාපාරිකයා විසින් ඔහු වෙළෙඳසල තුළ රඳවාගෙන පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඌවවත්ත, දීගල්ල ලිපිනයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ බදුල්ල දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරි වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්.එච්.ඩී. ජයතුංගගේ මෙහෙයවීමෙන් කන්දකැටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.