
කැස්බෑව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක එකොළොස් හැවිරිදි සිසුවකු මාස හතරක පමණ කාලයක් තිස්සේ බරපතළ ලෙස අපයෝජනයට ලක් කරමින් කෲරත්වයට භාජනය කළ බවට චෝදනා ලැබ සිටින එම පාසලේ අධ්‍යක්ෂවරයා එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් ටී. එම්.සන්දනායක මහතා නියෝග කර තිබේ.
මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ අකුරැස්ස, කෝරඹදෙණිය පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉකුත් ජනවාරි මාසයේදී ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර පාසලේ සිසුන් අටදෙනකු නේවාසිකව අධ්‍යාපනය ලබන අතර, විද්‍යාව සහ ගණිතය විෂයයන් උගන්වන මෙම සැකකාර අධ්‍යක්ෂවරයා එම දරුවන් භාරව කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.
බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පදිංචි මෙම එකොළොස් හැවිරිදි වින්දිත සිසුවා තනිවන අවස්ථාවලදී මොහුව අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වේ. දරුවා ඊට විරෝධය පාන සෑම අවස්ථාවකදීම ඔහුට පහර දෙමින් දරුණු ලෙස කෲරත්වය පා ඇති බවද පොලිස් වාර්තා සඳහන් කරයි.
ඉකුත් 17 වැනිදා ද සැකකරු මෙම සිසුවා අපයෝජනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී දරුවා ඊට එරෙහි වීම නිසා ඔහුට පහරදී ඇත. පසුව පාසලෙන් පලාගිය දරුවා බුත්තල පිහිටි සිය නිවසට ගොස් දෙමාපියන්ට සිදුවූ සියල්ල අනාවරණය කර තිබේ. පසුව පොලිසියට පැමිණිලි කර මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරිණි. එහිදී හෙළි වී ඇත්තේ ඉකුත් මැයි මාසයේ සිට මෙම මස 15 වැනිදා දක්වා කාලය තුළ ගුරුවරයා විසින් පහරදී බියගන්වමින් මොහුව මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල රෝහල් පොලිසිය මගින් කැස්බෑව පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 19 වැනිදා කැස්බෑව අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු ලබන 29 වැනිදා තෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
